ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර Wave n' Lake උත්සව ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 34ක හා ජාත්‍යන්තර සංවිධාන 14ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, 2025 සැප්තැම්බර් මස 24 සහ 25 දෙදින පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණයේදී ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාවට අදාලව; සමුද්‍රීය පරිසරය, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය තිරසාරත්වය සහ සුපිරිසිදු ඉන්දීය සාගර කලාපයක් පවත්වා ගැනීම යන ප්‍රධාන කුළුණු පහක් (05) ආවරණය වන පරිදි, සැසි හතරක් (04) පැවැත්වෙන අතර, නාවික හමුදා හා වෙරළාරක්‍ෂක ප්‍රධානීන්, සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විද්වතුන් සහ මූලෝපායාඥයින් විසින් එහිදී විද්වත් අදහස් දැක්වීම සිදුකරනු ලබයි.

තවද, සමුද්‍රීය ආරක්‍ෂාව හා සුරක්‍ෂිතතාවය වෙනුවෙන් පවත්නා ගෝලීය නීතිමය රාමුව සහ බහුපාර්ශ්වික සමුද්‍රීය සහයෝගීතාවයන් අභියෝගයට ලක්වෙමින්, සමුද්‍රීය වපසරිය ඔස්සේ පැනනගින සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ඇතුළු නව ප්‍රවණතා සඳහා සාමූහික ප්‍රවේශයකින් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කලාපීය සහයෝගීතාවය, නව දැනුම, අත්දැකීම් සහ උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳව සියළුම සමුද්‍රීය පාර්ශවකරුවන් හට එකම වේදිකාවක අදහස් හුවමාරු කර ගැනීමට, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස් වැනි වරටත් සංවිධානය කරනු ලබන ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය මඟින් ඉතා හොඳ වේදිකාවක් නිර්මාණය වනු ඇත.