නාවික හමුදාවේ දායකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්; හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක්, 2025 සැප්තැම්බර් මස 23 වන දින ත්‍රීකුණාමලය අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් එම විධානයේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු අභ්‍යාසයේ න්‍යායික හා ප්‍රායෝගික සැසි සඳහා ත්‍රිකුණාමලය, සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දිස්ත්‍රික් මහ රෝහල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, 22 වැනි පාබල සේනාංකය, ප්‍රීමා සිලෝන් (පුද්ගලික) සමාගම, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය සහ ත්‍රිකුණාමලය නගර සභාව නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

මෙහි න්‍යායික සැසිය තුළදී; රසායනික උපද්‍රව අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝග ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරිණි.