12 වන ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසරදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n' Lake උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අද (2025 සැප්තැම්බර් 24) ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව ඔස්සේ දින දෙකක් පුරා (2025 සැප්තැම්බර් 24-25) පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධාන 16 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වෙයි.

ඒ අනුව, මෙවර සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව; සමුද්‍රීය පරිසරය, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය තිරසාරත්වය සහ සුපිරිසිදු ඉන්දීය සාගර කලාපයක් පවත්වා ගැනීම යන ප්‍රධාන කුළුණු පහක් (05) ආවරණය වන පරිදි, සැසි හතරක් (04) පැවැත්වෙන අතර, නාවික හමුදා හා වෙරළාරක්‍ෂක ප්‍රධානීන්, සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විද්වතුන් සහ මූලෝපායාඥයින් විසින් එහිදී විද්වත් අදහස් දැක්වීම සිදුකරනු ලබයි.

එවන් පසුබිමක, සමුද්‍රීය ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවය සහතික කරමින්, සමුද්‍රීය ආර්ථික අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සාමූහික ප්‍රවේශයක් ස්ථාපිත කිරීම වෙනුවෙන්, ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දීය සාගරයට මුහුණලා ඇති වෙරළාශ්‍රිත රාජ්‍යයන් සහ ඉන්දීය සාගරය භාවිතා කරනු ලබන සියළුම සමුද්‍රීය පාර්ශ්වකරුවන් හට සුවිශේෂී සාමූහික වගකීමක් පැවරී ඇත. ගාලු කථිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මඟින්, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳව සියළුම සමුද්‍රීය පාර්ශවකරුවන් හට එකම වේදිකාවක අදහස් හුවමාරු කර ගැනීමටත්, විසඳුම් සෙවීමටත් ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කරදෙනු ලබයි.

ඒ අනුව, අද (2025 සැප්තැම්බර් 24) මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ දේශනය පවත්වමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ගාලු කථිකාවත සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය සඳහා පැමිණීම සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණිය වෙත කෘතවේදීත්වය පල කරමින්, එම අවස්ථාව සඳහා සහභාගී වන, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු සියළුම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයන් පිළිගැනීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති ගාලුකථිකාවත සමුද්‍රීය සම්මන්ත්‍රණයේ පළමු අධියරයේ සිට දොළොස්වන අධියර දක්වා සාර්ථකව පැවැත්වීමට සහයවූ සියළුම පාර්ශ්වයන් වෙත නාවික හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් සිය ස්තුතිය පලකරන බව පවසන ලදී. ශ්‍රී ලංකාව පාරිසරික, සමාජීය සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ ප්‍රතිපත්තියට සමඟාමීව සමුද්‍රීය ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය එහිදී නාවික හමුදාධිපති විසින් අවධාරණය කරමින් සිය දේශනය සිදුකෙරිණි.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් සිදුකළ මෙවර සම්මන්ත්‍රණයේ තේමාව හඳුන්වාදීම දේශනයෙන් අනතුරුව, සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණිය විසින් සිදුකෙරිණි. එහිදී අදහස් දැක්වූ ගරු අග්‍රාමාත්‍ය තුමිය, වසර ගණනාවක් පුරා පැවැත්වෙන ගාලු කතිකාව සම්මන්ත්‍රණය ඉන්දියානු සාගරයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබන ප්‍රමුඛ සම්මන්ත්‍රණයක් බවට වර්ධනය වී ඇතිබවත්, එය අඛණ්ඩව පවත්වාගනිමින් ගෝලීය සමුද්‍රීය පාර්ශ්වයන් සමඟ සහයෝගීත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම අගයන බවත් පවසන ලදී. ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලනික තරඟකාරීත්වය, පාරිසරික අභියෝග, අනවසර සංක්‍රමණ ඇතුළු පාලන ගැටළු මෙන්ම, ඉන්දියානු

සාගරය ඔස්සේ පැනනගින සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා සියළු සමුද්‍රීය පාර්ශ්වකරුවන් සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ගරු අග්‍රාමාත්‍යතුමිය, නිදහස් මුහුදු ගමනාගමනය, සමුද්‍රීය පරිසර සංරක්‍ෂණය, නීල ආර්ථිකයේ තිරසාරත්වය සහ සාගරික දූෂණයෙන් තොර පිරිසිදු සහ ස්ථාවර ඉන්දීය සාගර කලාපයක් පෝෂණය කිරීම සඳහා, සාගරයේ නීතිමය භාවිතය ප්‍රචලිත කලයුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගීත්වය හා පාර්ශ්වකරුවන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය සඳහා ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයෙන් මහඟු පිටිවහලක් ගෙන දෙන බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි. එහිදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් අමතමින් හරවත් දේශනයක් පැවැත්වූ ගරු අග්‍රාමාත්‍ය තුමිය, ඉන්දීය සාගර කලාපය ඔස්සේ නිර්මාණය වන වත්මන් භූදේශපාලන ප්‍රවණතාවයන් සැලකිල්ලට ගනිමින්, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන ගාලු කථිකාව - 2025 තේමාව විග්‍රහ කරගත යුතු බව පවසමින්, ජාත්‍යන්තර සම්බන්ධතා හා භූදේශපාලන වෙනස්වීම් පිළිබඳ කාලීන වශයෙන් වැදගත් හා හරවත් දේශනයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙම සම්මන්ත්‍රණයට සමඟාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති (Admiral Dinesh K Tripathi) ඇතුළු විදේශීය නාවික හමුදා ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ආරක්‍ෂක ප්‍රධානීන් සහ සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විද්වත් නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වීය නිල හමුවීම් සිදු කර, උපායමාර්ගික වශයෙන් වැදගත් කරුණු පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

මෙම සම්මන්ත්‍රණයට සමඟාමීව නාවික හමුදාධිපති විසින් සම්මන්ත්‍රණයට සහභාගී වූ තායිලන්ත, ආරක්‍ෂක අධ්‍යනය සඳහා වන ආසියා පැසිෆික් මධ්‍යස්ථානය, නෙදර්ලන්තය, රුසියාව, පකිස්තානය, බංගලාදේශය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සිදුකෙරිණි.

එමෙන්ම, ගාලු කථිකාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ අවසන් දිනය වන හෙට දින (2025 සැප්තැම්බර් 25), Maritime Economy Under Changing Dynamics සහ Maritime Sustainability Under Changing Dynamics යන තේමාවන්ට අදාලව පාර්ශවකරුවන් විසින් විද්වත් සාකච්ඡා සහ ඉදිරිපත් කිරීම් මඟින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රජයේ මැති ඇමතීන්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුණ ජයසේකර මැතිතුමා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුය්යකොන්තා (විශ්‍රාමික) ඇතුළු රාජ්‍ය නිලධාරීන්, හිටපු නාවික හමුදාධිපතිවරුන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විධාන ආඥාපතිවරුන්, ධජ නිලධාරීන්, යුද හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, ගාලු කථීකාව - 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය නාවික හමුදා නිල Youtube ජාලය ඔස්සේ සජීවීව නැරඹිමටද පහසුකම් සලසා ඇත.