වෙනස්වන ගෝලීය තත්වයන් මධ්‍යයේ කුඩා දූපත් රාජ්‍යයන් මුහුණදෙනු ලබන කාලීන අභියෝග පිළිබඳව 12 වන ගාලු කථිකාවේදී විශේෂ අවධානය

ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ 2025 සැප්තැම්බර් 25 දින පැවති අවසන් සාකච්ඡා මණ්ඩපය තුලදී, වෙනස්වන ගෝලීය තත්වයන් මධ්‍යයේ කුඩා දූපත් රාජ්‍යයන් මුහුණදෙනු ලබන කාලීන අභියෝග (Contemporary Challenges for Small Island States Amidst Changing World Order: Way Forward) කෙරෙහී විශේෂ අවධානයක් යොමු කරමින් පැවති විද්වත් සාකච්ඡා මණ්ඩපය මෙහෙයවීම, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න (විශ්‍රාමික) විසින් සිදු කෙරිණි.

ඒ අනුව 12 වන ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ අවසානය සනිටුහන් කරමින් පැවති මෙම සාකච්ඡා මණ්ඩපයේදී, Contemporary Challenges for Small Island States Amidst Changing World Order: Way Forward යන තේමාව යටතේ, විද්වත් අදහස් සඳහා සම්පත් දායකත්වය ලබා දීම; Brigadier General Mohamed Saleem (Commandant, MNDF Coast Guard, Maldives), නාවික දියත් විධානයට අණදෙන ධජ නිලධාරී, රියර් අද්මිරාල් රොහාන් ජෝසප්, ආචාර්ය අසන්ත සෙනෙවිරත්න (කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය) සහ කොමාණ්ඩර් Carine Buzaud (Director of Studies, Reginald Centre for Maritime Studies -RCMS, KDU) විසින් සිදු‍ කෙරිණි.

එහිදී, කුඩා රාජ්‍යක් ලෙස මාලදිවයින මුහුණ දෙනු ලබන සමුද්‍රීය අභියෝග සහ ඒ සඳහා සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව Brigadier General Mohamed Saleem පැහැදිලි කෙරිණි. ඉන්දියානු සාගරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පිහිටා තිබීම හේතුවෙන් සහ ලොව නැගෙනහිර හා බටහිර යා කෙරෙන ප්‍රධාන නෞකා ගමන් මාර්ගයක් ශ්‍රී ලංකාවට සමීපව පිහිටා තිබීමෙන්, සමුද්‍රීය ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව අවධාරණය කරමින්, නාවික දියත් විධානයට අණදෙන ධජ නිලධාරී, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් විසින් සම්මන්ත්‍රණය වෙත විද්වත් අදහස් දැක්වීම සිදුකෙරිණි. යටත් විජිතකරණයෙන් නිදහස ලැබීමෙන් පසුව දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ පසුගාමී සංවර්ධනය පිළිබඳව ලොව අනෙකුත් දූපත් රාජ්‍යයන් සමඟ සංසන්දනාත්මක විග්‍රහායක් සිදුකරමින් විද්වත් අදහස් දැක්වූ ආචාර්ය අසන්ත සෙනෙවිරත්න, ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා නිවැරදි ප්‍රතිපත්ති සහ උපායමාර්ගික ක්‍රමෝපායන්ගේ අවශ්‍යතාවය එහිදී අවධාරණය කෙරිණි. ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් ප්‍රංශ රජයේ කාර්යභාරය පිළිබඳව සහ ඉන්දීය සාගරය තුල පිහිටා ඇති ප්‍රංශයට අයත් කුඩා දූපත්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම, සාගරයේ නීතිමය භාවිතය වෙනුවෙන් ප්‍රංශයේ අඛණ්ඩ මැදිහත්වීම අවධාරණය කරමින්, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ස්ථාපිත, සමුද්‍රීය අධ්‍යනය පිලිබඳ කලාපීය මධ්‍යස්ථානයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ, කොමාණ්ඩර් Carine Buzaud සම්මන්ත්‍රණය වෙත කරුණු ඉදිරිපත් කිරීම සිදුකෙරිණි.

තවද, ඉතාමත් ආකර්ශනීය ලෙස සාකච්ඡා මණ්ඩපය මෙහෙයවූ රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න (විශ්‍රාමික), තේමාවට අදාලව දූපත් රාජ්‍යන් මුහුණ දෙනු ලබන අභියෝග සම්බන්ධයෙන් අදහස් හා අත්දැකීම් සම්මන්ත්‍රණය සඳහා සහභාගිවූ පාර්ශ්වයන් හට බෙදා ගැනීමට අවස්ථාව උදාකරදුන් අතර, පාර්ශවයන් විසින් ඉදිරිපත් කල ගැටළු සඳහා සාකච්ඡා මණ්ඩපයේ විද්වත් අදහස් ලබාදීමටත් කටයුතු කෙරිණි.