කලාපීය සමුද්‍රීය සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම 12 වැනි ගාලු කථිකාවට සහභාගී වූ විදෙස් නියෝජිතයන් ඇගයීමට ලක්කෙරේ
12 වැනි ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයට සමඟාමීව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය නාවික හමුදා ප්‍රධානීන් ඇතුළු සමුද්‍රීය පාර්ශ්වකරුවන් සමඟ ද්විපාර්ශ්වීය නිල හමුවීම් සිදුකර, ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපායමාර්ගික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි. එහිදී, කලාපීය සමුද්‍රීය සහයෝගීතාවය ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම, විදෙස් නියෝජිතයන් විසින් විශේෂයෙන් ඇගයීමට ලක්කෙරිණි.
ඒ අනුව, සම්මන්ත්‍රණයේ ආරම්භක දිනයේදී (2025 සැප්තැම්බර් 24) නාවික හමුදාධිපති විසින් සම්මන්ත්‍රණය සඳහා; තායිලන්ත, ආරක්‍ෂක අධ්‍යනය සඳහා වන ආසියා පැසිෆික් මධ්‍යස්ථානය, නෙදර්ලන්තය, රුසියාව, පකිස්තානය, බංගලාදේශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සිදුකෙරිණි.
එමෙන්ම, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ දෙවන දිනයේදී (2025 සැප්තැම්බර් 25), නාවික හමුදාධිපති විසින් සම්මන්ත්‍රණය සඳහා; මොන්ගෝලියාව, ඇමරිකා එක්සත් ජනපදය, මුරුසිය, මාලදිවයින, ආසියානු කලාපීය නෞකාවන්ට එරෙහිව මුහුදු කොල්ලකෑම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ස්ථාපිත සහයෝගීතාවය (ReCAAP), ජපානය, ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනය, ප්‍රංශය, ඉන්දුනීසියාව, මියන්මාරය සහ ජර්මනිය යන රාජ්‍යන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් සහභාගිවූ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් සිදුකෙරිණි.
තවද, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය මඟින් කලාපීය හා ගෝලීය සමුද්‍රීය පාර්ශ්වයන් අතර වැඩිදියුණුවන සහයෝගීත්වය, හවුල්කාරීත්වය සහ ශක්තිමත්වන ජාත්‍යන්තර සබඳතා තුලින්, සාගරය ඔස්සේ ගොඩනැගෙන නීල ආර්ථිකයේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් මව්බිම වෙත ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.