ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය අද (2025 ඔක්තෝබර් 02) වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගී විය.

ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාව සහ දැනුම වර්ධනය කිරීම උදෙසා පවත්වනු ලබන වාර්ෂික පුහුණු කඳවුර සහ අංශ පිරික්සුම, ස්වේච්ඡා නාවික හමුදාවට අනන්‍යවූ සාම්ප්‍රදායික අංගයක් වන අතර, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින ආරම්භ කෙරුණු මෙවර පුහුණු කඳවුර සඳහා නිලධාරීන් 47 දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් 493 දෙනෙකු සහභාගී විය.

සති තුනක කාලසීමාවක් පැවති මෙම පුහුණු කඳවුර තුලදී, නාවික හමුදාවේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික දැනුම යාවත්කාලීන කිරීම ඇතුළු පුහුණු වැඩසටහන් සාර්ථකව සිදු කෙරුණු අතර, අද (2025 ඔක්තෝබර් 02) සාම්ප්‍රදායිකව නාවික හමුදාධිපතිගේ අංශ පිරික්සුම, නාවික හමුදාධිපති නියෝජනය කරමින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදුකිරීමෙන් පසුව පැවති ආචාර පෙළපාලිය හා විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව, 2025 වර්ෂයේ වාර්ෂික පුහුණු කඳවුර මෙලෙස සාර්ථකව නිමාවට පත්විය.

එහිදි අදහස් දැක් වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, 2025 වර්ෂයේ ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර අවසානයේ පැවැත්වෙන අංශ පිරික්සුම සඳහා ප්‍රධාන ‍ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති නියෝජනය කරමින් සහභාගී වීමට ලැබීම භාග්‍යක් කොට සලකන බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර සහ අංශ පිරික්‍සුම දීර්ඝ ඉතිහාසයක් සහිත ස්වේච්ඡා නාවික හමුදාවටම අනන්‍ය සම්ප්‍රදායක් බවත්, නිලධාරින් 24 ක් හා නාවිකයින් 121 දෙනෙකුගෙන් යුතුව රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස ආරම්භ වූ, ස්වේච්ඡා නාවික හමුදාව, ජාතික ආරක්‍ෂාව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට සමගාමීව මේ වන විට නිලධාරීන් 371 ක් සහ නාවිකයන් 10081 කින් සැදුම්ලත් පුළුල් පිරිස් බලයකින් යුතුව වර්ධනය වී නාවික හමුදාවේ කාර්යභාරය ඉටු කිරීම සඳහා විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ වෘත්තීය දායකත්වය ලබා දෙන බවත් පවසන ලදී.

එමෙන්ම, ක්‍රීඩා ජයග්‍රහණ දිනා දෙමින් නාවික හමුදාවටත් මව්බිමටත් කීර්තියක් ගෙන දීමට ස්වේච්ඡා නාවික හමුදා සාමාජිකයන් සිදුකරන දායකත්වය මෙන්ම, ස්වේච්ඡා නාවික හමුදාව වෙත අනුයුක්තව විවිධ වෘත්තීන් යටතේ නාවික හමුදාව වෙත ලබා දෙන තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇගයීමද එහිදී මාණ්ඩලික ප්‍රධානී විසින් සිදු කෙරිණි.

තවද, ස්වේච්ඡා නාවික හමුදාව ආරම්භයේ සිට මේ දක්වා පැමිණි දීර්ඝ ගමන් ම‍‍ඟෙහිදී, මාතෘ භූමි‍යේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සහ රණක්‍ෂිතයට පත් වෙමින් කටයුතු කල සියළුම ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයින් ගෞරවයෙන් සිහිපත් කර, ඔවුන්ගේ පවුල් වල සමීපතමයින් වෙත සිය ප්‍රණාමය පුද කිරීම ද එහිදි සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මුලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.