නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැපයීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි

නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (Onboard Security Team - OBST) වෙනුවෙන් ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හා ආරක්‍ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්‍ෂක සමාගම් වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කර ගනිමින් ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන විදේශීය සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් දෙකක (02) දේශීය නියෝජිතයෙක්‍ හා ගිවිසුම්ගත වීම, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදුකිරීම සඳහා ජාතික සුභසිද්ධිය වෙනුවෙන් ඇති අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ගරු ජනාධිපති තුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඒ සඳහා බලය පවරන නියමයක්, අංක 2449/27 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2025 අගෝස්තු මස 13 වැනි දින නිකුත් කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමද සිදුකර ඇත. තවද, මෙම ව්‍යාපෘතිය වෙතින් ලැබෙන සියලූම ආදායම් රජයේ එකාබද්ධ අරමුදල වෙත බැර වන අතර, ජාතික සුභසිද්ධිය වෙනුවෙන් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකිරීම සඳහා නාවික හමුදාව වෙත පැවරී ඇති බලතල හා සුවිශේසි වගකීම, වඩාත් කාර්යක්‍ෂමව හා පළදායි ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන් යුතුව ඉටු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කැපවී සිටියි.