ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමඟාමීව වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් මන්නාරම පේසාලේදී

2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන්, ඔක්තෝබර් මස 05 සිට දෙසැම්බර් 26 දක්වා කාල සීමාව තුල විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්යාර්තීන්ගේ සංගමය, නාවික හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තු හා එක්ව සංවිධානය කළ, විශේෂ ජංගම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් අද (2025 ඔක්තෝබර් 05) මන්නාරම පේසාලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්යාර්තීන්ගේ සංගමය, නාවික හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තු හා එක්ව සංවිධානය කළ මෙම විශේෂ ජංගම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනය තුලදී; හදීසි ප්‍රතිකාර, බාහිර රෝගී ප්‍රතිකාර, ළමා රෝග සායන, ප්‍රජනන සෞඛ්‍ය, අක්ෂි සායන, විකලාංග සායන, ශල්‍ය වෛද්‍ය සායන, සර්වාංග රෝග සායන, දන්ත වෛද්‍ය සායන, උගුර/කන/නාසය පිළිබඳ සායන, සමේ රෝග සායන සහ මනෝ විද්‍යා උපදේශන සායන මෙන්ම ජංගම රසායනාගාර මඟින් රුධිර පරීක්‍ෂණ සිදු කරගැනීමේ පහසුකම් ලබාදීම සිදුකෙරිණි. එමෙන්ම මෙම සමාජ සත්කාරක වැඩසටහනට සමඟාමීව ‍පේසාලේ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රධානයක් සහ මන්නාරම ප්‍රදේශයේ පාසල් ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමක්ද සිදු කෙරිණි.

එමෙන්ම, නාවික හමුදාවට වසර 75 ක්‍ සපිරීම නිමිත්තෙන්, නාවික හමුදා රණවිරුවන් ඇතුළු සමස්ථ නාවික හමුදාවට සෙත් පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇති අතර, පරිසර සංරක්‍ෂණ හා සමාජ සත්කාරක වැඩසටහන් සඳහාද නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදෙනු ලබයි.

තවද, 75 වැනි නාවික හමුදා සංවත්සර දිනයට සමඟාමීව ගාලු මුවදොර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී, විදේශීය යුද නෞකාවන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර නෞකා දැක්මක්‍ (International Fleet Review - IFR) පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඊට සමඟාමීව ජාත්‍යන්තර ආහාර දැක්මක්, සංස්කෘතික හුවමාරු හා විදෙස් නාවික හමුදා සංගීත කණ්ඩායම් සහභාගිවන සංගීත සංදර්ශන (Band Show) සහ පාගමන් ඇතුළු වැඩසටහන්, කොළඹ හා වැලිසර කේන්ද්‍ර කරගනිමින් පැවත්වීමට නියමිත අතර, එමඟින් මෙරට සංචාරක ප්‍රවර්ධනයද නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.