නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට ආසන්න සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ අද (2025 ඔක්තෝබර් 07) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වැනි උපන්දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ, සිය වසර 33 කට ආසන්න සේවා කාලය තුළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හී අණභාර නිලධාරී, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී ලෙස සහ නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදුකොට ඇත. තවද, ඔහු ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ පුහුණු හා මෙහෙයුම්, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.