සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීමට හා නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට ශක්තිමත් ඒකාබද්ධ වැඩසටහනක් සඳහා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ වයඹ පලාතේ ධිවර ප්‍රජාව එක්වෙයි
නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන අහිතකර බලපෑම සහ මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් පිළිබඳව වයඹ පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ පළාතේ පරිසරවේදීන්, නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ සහ වයඹ පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 ඔක්තෝබර් මස 02 වැනි දින වයඹ නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේ වර්ධනය වෙමින් පවතින නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම, ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම, නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, වයඹ මුහුද ඔස්සේ සිදුකෙරෙණ සැකකටයුතු ක්‍රියාකාරකම් වාර්තා කිරීම සඳහා තොරතුරු බෙදා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ආරක්‍ෂව තහවුරු කිරීම වෙනුවෙන් සහයෝගී ප්‍රවේශයකිත් කටයුතු කිරිම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් සිදු කෙරිණි.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ඇතුළු එම විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මුසලි ප්‍රාදේශීය ලේකම් ඇතුළු වන සංරක්‍ෂණ, මිනින්දෝරු, සුරාබදු, වනජීවී, මාර්ග සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල්, ධීවර හා ජලජ සම්පත් සහ පළාතේ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.