Trinco Dialogue - 2025’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

‘Trinco Dialogue – 2025’ සාගරික සම්මන්ත්‍රණය, 2025 ඔක්තෝබර් මස 22 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

‘ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ භූ දේශපාලනික වෙනස්වීම්: අභියෝග සහ විසඳුම්’ (“Maritime Security and Geopolitical Shifts in the Indian Ocean: Challenges and Solutions”) යන තේමාව පෙරදැරිව 10 වන වරටත් පැවැත්වුණු Trinco Dialogue – 2025 සාගරික සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති බුද්ධික ජයවීර විසින් සිදුකෙරුණු අතර, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කණිෂ්ඨ නිලධාරි මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් විසින්ද එහිදී නිබන්ධන ඉදිරිපත් කිරීම සිදු කෙ‍රිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රිලංකා යුද හමුදාවේ සහ ශ්‍රිලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වි සිටියහ.