ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමඟාමීව දිපව්‍යප්ත රුක් රෝපණ වැඩ සටහන් මාලාවක්

2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් තිරසාර පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර, ඒ යටතේ සිදු කෙරුණු රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරමින්, 2025 ඔක්තෝබර් මස 25 දින උදෑසන කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ පොල් පැළ රෝපණය කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම රුක්රෝපණ වැඩසටහන් මාලාව යටතේ සියළුම නාවික විධාන ආවරණය වන පරිදි දිවයිනේ වෙරළ, කලපු සහ ගොඩබිම් ප්‍රදේශ තුල, එම පරිසර පද්ධතීන්ට උචිත පැල රෝපණය කිරීම, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, විධාන ආඥාපතිවරුන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව නැගෙනහිර, උතුරු, උතුරු මැද, බටහිර, ගිනිකොණ සහ වයඹ නාවික විධානයන්හි මෙලෙස රුක්රෝපණ වැඩසටහන් මාලාව සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ යටතේ පොල්,පේර,අඹ ,කුබුක්,දෙහි සහ කොහොඹ පැළ විශාල ප්‍රමාණයක් දිවයිනේ වෙරළ, කලපු සහ ගොඩබිම් ප්‍රදේශ ආවරණය වන පරිදි රෝපණය කිරීම සිදුකෙරිණි.

තවද, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ, ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රමුක පාර්ශ්ව කරුවෙකු වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් ගනනාවක් ක්‍රියාවට නන්වනු ලබන අතර, 75 වැනි සංවත්සරයට සමඟාමීව සංව්ධානය කෙරුණු මෙම විශේෂ රුක් රෝපණ වැඩසටහන මඟින්, මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියේ තිරසාරත්වය අනාගත පරපුර වෙනුවෙන් තවදුරටත් රැකදීම, නාවික හමුදාව අපේක්ෂා කරනු ලබයි.