ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය වෙනුවෙන් ධජ ආශිර්වාද පූජා සහ කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය අනුරාධපුර පුද බිමේදී
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් කඤ්චුක පූජා පුණ්‍ය මහෝත්සවය සහ නාවික ධජ වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පූජා පුණ්‍ය මහෝත්සවය, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් 2025 ඔක්තෝබර් මස 30 සහ 31 දිනයන්හි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පුදබිමේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනුෂා බානගොඩ මැතිනියද සහභාගී විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, එම වැඩසටහන් මාලාවේ බෞද්ධාගමික වැඩසටහන් ආරම්භ කරමින්, 2025 ඔක්තෝබර් මස 30 දින සන්ධ්‍යාවේ නාවික හමුදාධිපති විසින් රුවන්වැලි සෑ විහාරවාසී, මහ විහාර මහා පිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය කුඩාගල ඥානවිමල නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු කඤ්චුක පූජා පිංකම රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී බෞද්ධාගමික වත් පිළිවෙත් අනුගමනය කරමින් පැවැත්විණි. එහිදී, අලංකාරවත් පෙරහැරකින් රැගෙන ආ බෞද්ධ ධජයක් රුවන්වැලි මහා සෑ ගර්භය වටා පැළඳවීම නාවික හමුදාධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් සිදුකිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ත නාවික හමුදාව වෙත ආශිර්වාද ප්‍රාර්ථනය කෙරිණි.
අද උදෑසන (2025 ඔක්තෝබර් 31), නාවික ධජ වෙත ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා විචිත්‍රවත් පෙරහැරක් මඟින් නාවික ධජ රැගෙනවිත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස තැන්පත් කිරීම සිදු කෙරිණි. අනතුරුව, නාවික ධජ වෙත ආශිර්වාද පතා පිරිත් සඡ්ඣායනය කර, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කෙරිණි. එහිදී, නාවික හමුදාධිපති ගේ ආරාධනයෙන්, අටමස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින්, හැත්තෑ පස් (75) වසරක් පුරා නාවික හමුදාව පැමිණි දීර්ඝ ඉතිහාසය තුළ මව්බිමෙහි ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම වීරෝධාර නාවික හමුදා රණ විරුවන් වෙත පුණ්‍යානුමෝදනා සිදු කර, නාවික හමුදාධිපති ප්‍රමුඛ සියළුම නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සහ රණක්‍ෂිතයට පත් වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙත ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.
මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, ඇතුළු විධාන ආඥාපතිවරුන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.
















































































