දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සඳහා නාවික හමුදාව දායක වෙයි

මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම වෙනුවෙන් සිහිකිරීමේ උත්සවය 2025 නොවැම්බර් 16 වන දින කොළඹ විහාර මහ දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අභියසදි, අග්‍රාමාත්‍ය ගරු හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය. ඊට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය නාවික හමුදා මූලස්ථානයේදී සහ සියළුම නාවික විධානයන්හීදීත් අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය ‍කෙරිණි.

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හි දී දිවි පිදූ සේවා පුද්ගලයන් සිහිපත් කිරීම උදෙසා ආරම්භ වී ඇති මෙම සිහිකිරීමේ දිනය (Remembrance Day), වර්තමානයේදී මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරිම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.

තවද, නාවික හමුදා මූලස්ථානයේදී පැවති සිහි කිරීමේ උත්සවය නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඊට සමඟාමීව උතුර, නැගෙනහිර, බටහිර, උතුරු මැද, ගිණිකොන, වයඹ සහ දකුණ යන නාවික විධානයන්හීදී පැවති සිහි කිරීමේ උත්සව එම විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ එම විධානයන්ට අයත් නෞකා හා ආයතනයන්ට අයත් නාවික හමුදා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.