නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව සමාජ, සදාචාරාත්මක සහ පාරිසරික මුල පිරීම් ආවරණය වන පරිදි, නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල් තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, ඒ යටතේ “Sailing Strong Together” යන තේමාව පෙරදැරිව පවත්වනු ලබන “ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025” පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 24 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
2025 නොවැම්බර් මස 30 දින පැවැත්වෙන මෙම යුද නෞකා නිරීක්ෂණය - 2025 සඳහා සහභාගීවීමට බංගලාදේශය, ඉංදියාව, ඉරානය, මාලදිවයින, මැලේසියාව, පාකිස්ථානය, සහ රුසියාව නියෝජනය කරමින් යුද නෞකා අටක් (08) සහභාගී වන අතර, එම විදේශීය යුද නෞකා සමඟ ශ්‍රිලංකා නාවික හමුදා නෞකා බලඇණිය වෙතින්, ශ්‍රි ලංකා ගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක වෙත යුද නෞකා ආචාරය පිරිනැමීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට සමඟාමීව නොවැම්බර් මස 28 වැනි දින සිට විදේශ යුද නෞකා කාර්යයමණ්ඩල මෙන්ම, නාවික හමුදාව, අනෙකුත් සන්නද්ධ හමුදා හා පොලිසිය සමඟ විවිධ වූ වැඩසටහන් ගණනාවක් පැවැත්වීමටද නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
එහිදී අදහස් දැක්වු නාවික හමුදාධිපති, ශ්‍රී ලංකාව ගෝලීය සහයෝගීතාවය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරනු ලබන බවත්, ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවද ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මඟ පෙන්වීම මත, මෙම වසර තුල ජාත්‍යන්තර සහ දේශීය සහභාගීත්වයෙන් යුතුව "ගාලු කතිකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය" හා ඊට සමඟාමීව විවිධ වැඩසටහන් පවත්වමින් සමුද්‍රීය සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන ලද බවත් පවසන ලදී. තවද, නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මඟ පෙන්වීම මත, සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහයෝගීත්වය අවධාරණය කරමින් “Sailing Strong Together” යන තේමාව පෙරදැරිව, ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයක් සංවිධානය කිරීමට අවස්ථාව ලැබීම, නාවික හමුදාව ලද විශාල ගෞරවයක් බවත් පවසන ලදි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු නාවික හමුදාධිපති, ජාතික සමුද්‍රිය අභීප්රායන් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සහ ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පෙන්නුම් කරනු ලබන මෙම ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය සඳහා සහභාගීවීම වෙනුවෙන්, කලාපීය හා කලාපයෙන් පිටත විදේශිය යුද නෞකා පැමිණීම මඟින්, සමුද්‍රීය සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවත්, මෙම අවස්ථාව සඳහා සහභාගී වන රාජ්‍යයන් වෙත කෘතඥතාවය පලකර සිටින බවත් පවසන ලදී.
එමෙන්ම, ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025, කලාපීය සහ ගෝලීය සමුද්‍රීය සහයෝගීතාවය සඳහා දායක වීමට ශ්‍රි ලංකාවේ සූදානම සහ ඒ සඳහා කැපවීම සම්බන්ධව ලොවට ප්‍රභල පණිවිඩයක් ලබා දෙන අවස්ථාවක් වන බවද, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කල නාවික හමුදාධිපති, නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමිව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණිය විශේෂයෙන් පාසල් දරුවන් ඇතුළු මහජනතාව වෙත නැරඹීම සඳහා, දිවයිනේ බටහිර, නැගෙනහිර, දකුණ සහ උතුරු නාවික විධානයන් හිදී එක විට අවස්ථාව ලබාදීමටද නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇති බවත් පවසන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන්, නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල් තැනක් දෙමින්; රණවිරු සැමරුම්, සර්ව ආගමික වැඩසටහන්, සමාජ සත්කාරක සහ පරිසර හිතකාමී වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති බවත්, මෙම සංවත්සරය නිමිත්තෙන් විශේෂ මුල්දින කවරයක් නිකුත් කිරීම සහ සමරු පදක්කමක් පිරිනැමීම දෙසැම්බර් 09 දින සිදු කෙරෙන බවත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් පවසන ලදී.
ජාත්‍යන්තර යුද නෞකා නිරික්ෂණය - 2025, ප්‍රෞඩ නාවික හමුදා සාම්ප්‍රදායක් පමණක් නොව, සාමය, සහයෝගීතාවය, හවුල්කාරිත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන තේමාවන් ඔස්සේ ලොව පුරා නාවික හමුදා එක් කරනු ලබන සුවිශේෂී සිදුවීමක් බව අවධාරණය කරමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජාත්‍යන්තර යුද නෞකා නිරික්ෂණය - 2025 තුලින්, කලාපීය සමුද්‍රීය ආරක්ෂක හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ලැබීම සහ ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රවර්ධනය වැනි ප්රතිලාභ රටට හිමිවන බව පවසන ලදී. එමෙන්ම, මෙවැනි ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණ, අනෙකුත් විදේශීය නාවික හමුදා විසින්ද සාම්ප්‍රදායිකව සමුද්‍රීය ජාතීන් අතර සහයෝගීතාවය හා බැඳීම් තවදුරටත් ශක්තිමත්ව වර්ධනය කිරීම උදෙසා සිදුකරනු ලබන නාවික හමුදා සම්ප්රදායක් බවත් පවසන ලදී.
මෙම ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025 සාර්ථකව සංවිධානය කිරීම සඳහා අනෙකුත් පාර්ශ්වයන්ගේ විශේෂ දායකත්වය පිළිබඳව අදහස් දැක්වූ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂද සිල්වා; ආරක්ෂක අමාත්‍යාංශයේ මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දායකත්වය, මහජන ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාර්යයභාරය, පැමිණෙන විදේශීය යුද නෞකා වෙනුවෙන් වරාය පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රේගු නිශ්කාෂණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මෙන්ම, ගාලු මුවදොර ආශ්රිත ප්‍රදේශයේ සිදුකෙරෙන වැඩසටහන් වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි.
තවද, ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය - 2025 ට සමඟාමිව පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාවික හමුදා අධ්යක්ෂ මෙහෙයුම් කපිතාන් අතුල ජයවීර, නොවැම්බර් මස 28 දින උදෑසන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමඟාව වෙරළ පවිත්‍රතා වැඩසටහනක් විදේශීය නාවික හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේදී පැවැත්වෙන බවත්, ක්‍රීඩා වැඩසටහන් වැලිසර නාවික පරිශ්‍රයේදී පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇති බවත් පවසන ලදී. එදින සන්ධ්‍යාවේදී විවිධ රාජ්‍යන්ට ආවේනික ආහාර ඇතුලත් ආහාර ප්‍රදර්ශනයක් සහ තූර්යය වාදක කණ්ඩායම් සහභාගීත්වයෙන් තූර්යය වාදන හා සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත්, විශේෂයෙන් තූර්යය වාදන සංදර්ශනය සඳහා විදේශීය තූර්යය වාදක කණ්ඩායම් සහ නාවික හමුදා තූර්යය වාදක කණ්ඩායම මෙන්ම, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා තූර්යය වාදක කණ්ඩායම් සහ පොලිස් තූර්යය වාදක කණ්ඩායම් එහිදී සංදර්ශන ඉදිරිපත් කිරීමට නියමිත බවත් පවසන ලදී. නොවැම්බර් මස 29 දින උදෑසන විදේශීය නාවික හමුදා පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් නගර පෙළපාලියක්, කොළඹ ගාලු මුවදොර ඉදිරිපස මාර්ගයේ පැවැත්වෙන බව පැවසූ අධ්යක්ෂ නාවික මෙහෙයුම්, නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන මෙම නගර පෙළපාලිය, මෙරට ජනතාව වෙත නවමු අත්දැකීමක් ගෙන දෙනු ඇති බවට විශ්වාසය කරනු ලබන බව පවසන ලදී.















