75 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්
2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, 2025 නොවැම්බර් මස 21 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල ගේ ප්‍රධානත්වයෙන් කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.
1991 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය, ඉහළම නාවික චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුකූලව අඛණ්ඩව වසර 34ක් පුරා ඒකාබද්ධ සැමරුම් හා ස්තුති කිරීමේ දේව මෙහෙය පවත්වා ඇත. මෙම ඒකාබද්ධ සැමරුම් දේව මෙහෙය, ත්‍රිකුණාමලය රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් හිමිපානන් ගේ ප්‍රධානත්වයෙන් සහ රෝමානු කතෝලික හා ක්‍රිස්තියානි සභාවන්ට අයන් පූජකතුමන්ලා අට දෙනෙකුගේ කාරුණික පැමිණීම සහ යාඥාවන් සමඟින් ඉතාමත් අභිමානවත් අන්දමින් පැවැත්විණි.
"මුහුදේ ආරක්ෂකයා වන ඔබ සමඟ අපගේ ස්වාමීන් වහන්සේගේ සාමය සහ ශක්තිය වේවා" යනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගත් සියලු ජයග්‍රහණ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙත ප්‍රශංසා කරමින් තුති පුද කළ ත්‍රිකුණාමලය රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් හිමිපානන්, මාතෘභූමිය වෙත සාමය උදාකරදීම වෙනුවෙන් උතුම් කැපකිරීම් කළ සියළුම දෙනා ගෞරවපූර්වකව සිහිපත් කරමින්, නාවික හමුදා ධජය හා නාවික හමුදා විධාන ධජයන් වෙත ක්‍රිස්තියානි ආගමික වත් පිළිවෙත් අනුකූලව ආශිර්වාද ප්‍රාර්ථනා සිදුකෙරිණි. එමෙන්ම, 75 වසරක නාවික හමුදා ඉතිහාසය තුළ මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ රණක්ෂිතයට පත්වූ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටත්, සමස්ථ නාවික හමුදාවටත් එහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.
තවද, මෙම දේව මෙහෙය සඳහා (විශ්‍රාමික) හිටපු නාවික හමුදාධිපතිවරුන් හා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානයේ ආඥාපති, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.


