නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක 2025 නොවැම්බර් මස 29 වැනි දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1990 වසරේදී 20 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ප්‍රදීප් කරුණාතිලක, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ කපිතාන් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (උතුර), වැඩ බලන කොමදෝරු විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (බටහිර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික විදුලි ඉංජිනේරු (විද්‍යුත් හා දුරකථන සන්නිවේදන) සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමුද්‍රීය නිරීකෂණ ඉංජිනේරු, කොමදෝරු විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (නැගෙනහිර), අධ්‍යක්‍ෂ නාවික විද්‍යුත් හා දුරකථන සන්නිවේදන ඉංජිනේරු, අධ්‍යක්‍ෂ නාවික විද්‍යුත් හා දුරකථන සන්නිවේදන ඉංජිනේරු සහ සයිබර් ආරක්‍ෂක ඒකක ප්‍රධානී, අධ්‍යක්‍ෂ නාවික විද්‍යුත් හා දුරකථන සන්නිවේදන ඉංජිනේරු හා සයිබර් ආරක්‍ෂක ඒකක ප්‍රධානී හා අධ්‍යක්‍ෂ නාවික විදුලි උපයෝගිතා සහ ජීව වෛද්‍ය ඉංජිනේරු, සයිබර් ආරක්‍ෂක ඒකක ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ නාවික විදුලි උපයෝගිතා ඉංජිනේරු, අධ්‍යක්‍ෂ නාවික විදුලි දියත් හා අවි ඉංජිනේරු, අධ්‍යක්‍ෂ නාවික විදුලි උපයෝගිතා සහ ජීව වෛද්‍ය ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ නාවික විද්‍යුත් හා දුරකථන සන්නිවේදන ඉංජිනේරු සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.