ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ, හලාවත අත්තනගොඩ විද්‍යාලය, හංවැල්ල පහත්ගම රෝමාණු කතෝලික විද්‍යාලය, කඩුවෙල අභිනවාරාමය සහ කඩුවෙල බස් නැවතුම්පොල පිරිසිදු කිරීම, වියලි ආහාර ඇසිරීම සඳහා මහනුවර හා තලාතුඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත සහය වීම, නාත්තන්ඩිය ප්‍රදේශයේ පානීය ජල ලිං පිරිසිදු කිරීම ඇතුළු මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව අද දිනයේ (2025 දෙසැම්බර් 03) දායක විය.

තවද, ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර ලබා දීම සඳහා මිතොටමුල්ල, අනුරාධපුරය සහ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ස්ථානගත කර ඇති නාවික හමුදා ජංගම ආහාර පිසීමේ රථ (Mobile Kitchen) මඟින්, ආහාර පිසීම සහ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ස්ථානගතකර ඇති නාවික හමුදා ජංගම ජල පිරිපහදු පද්ධති මඟින් (Mobile RO Plant) පිරිසිදු පානීය ජලය ලබා දීමද අද දිනයේ (2025 දෙසැම්බර් 03) නාවික හමුදාව විසින් සිදුකෙරිණි.