ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘DECISIVE ’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද, ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘DECICIVE’ නෞකාව (EX USCGC DECISIVE) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම 2025 දෙසැම්බර් 02 වැනි දින ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ, ‘බැල්ටිමෝර්’ හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා අංගනයේදී සිදු කෙරුණු අතර, මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 628 ධජ අංකය යටතේ 2025 දෙසැම්බර් 02 වැනි දින සිට එක්වන මෙම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි එදින සිට ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලබයි.

සාගර කලාපයේ පොදු අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621), ‘ගජබාහු’ (පි 626) සහ 'විජයබාහු' (පී 627) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් සිව්වන නෞකාව ලෙස මෙම ‘DECISIVE ’ නෞකාව ලබා දීම සනිටුහන් වෙයි.

‘B-Type Reliance Class 210-foot Cutter’ යන නෞකා පන්තියට අයත් මෙම නෞකාව දිගින් මිටර 64 ක්ද, එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 6000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 100ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත වේ. එමෙන්ම මෙම නෞකාව ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදුකළ වකවානුවේ, එරට මුහුදු කළාපයේ සිදු වූ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් සාර්ථක මෙහෙයුම් සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් ගුණයක් විශාල වූ මෙරට අනන්‍ය ආර්ථික කළාපයෙහි ඇති සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම, සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම, නාවික හා ධීවර ප්‍රජාවට සහන සැළසීමේ මෙහෙයුම් සිදුකිරීම, ඉන්දියන් සාගරය ඔස්සේ ඇති නාවික ගමන් මාර්ග සඳහා ආරක්‍ෂාව සැපයීම ඇතුළු සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු සුරක්‍ෂිතව සිදු කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාෂය ශාක්ෂාත් කර ගැනීම උදෙසා ඉදිරියේදී මෙම නෞකාව කාර්යක්‍ෂමව යෙදවීමට නාවික හමුදාව අපේක්‍ෂා කරයි.

2025 දෙසැම්බර් මස 02 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ ‘‘බැල්ටිමෝර්’’ හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා අංගනයේදී සිදු කෙරුණු, ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘DECISIVE ’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිළ වශයෙන් භාරදීම සහ භාරගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් JAMES L. KNIGHT ( Deputy Chief Acquisition Officer and Director of Domain & Integration Services U.S. Coast Guard) සහභාගී විය.

තවද, මෙම අවස්ථාව සඳහා Dr. ANDREW BYERS ( Deputy Assistant Secretary of War for South and Southeast Asia ), එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති, ගරු මහින්ද සමරසිංහ මහතා, පී 628 නෞකාවේ නම්කළ අණදෙන නිලධාරී, කපිතාන් ගයාන් වික්‍රමසුරිය ඇතුළු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.