අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 06) පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහන සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.
ඒ අනුව, අද දිනයේ නාවික හමුදා කණ්ඩායම් මඟින් පාසල්, පොදු ස්ථාන සහ ජල ළිං පිරිසිදු කිරීම සඳහා කටයුතු කෙරිණි. ඒ යටතේ ; ජාඇල පමුනුව මධ්‍ය මහ විද්‍යාලය, දේවාලගම පාසල, සිප්පිකලාන විදුහල, ගල්මුරුව ග්‍රාමසේවා කාර්යාලය, ජාඇල, දොම්පේ හා දන්කොටුව ප්‍රදේශයන්හි පොදු ස්ථාන, අනුරාධපුරය කොහොඹගස් හන්දිය, හොරොව්පොතාන, තිරප්පන්කඩවල, මැදවච්චිය, සන්ගිලිකනදරාව, මහඉලුප්පල්ලම, මහවිලච්චිය, අනුරාධපුර විවේකාරාම පාසල, රබෑව ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය, තලේමන්නාරම තෙවන්පිඩ්ඩියි ප්‍රථමික පාසල, නරවිලිකුලම් පාසල, නානට්ටාන් ප්‍රාදේශීය රෝහල, තුල්ලිකුඩිරිප්පු පාසල සහ තලෙමන්නරම පියර පාසල නාවික හමුදාව මඟින් පිරිසිදු කිරීම සිදුකෙරිණි.
එමෙන්ම, මන්නාරම සර්ව බිම්භාරාමය, අනුරාධපුර දෙමටවැව ප්‍රදේශය, ඉපලෝගම ගල්නෑව ප්‍රදේශය, මහවිලච්චිය පොලිසිය, නැගෙනහිර මැදවච්චිය, පණ්ඩුලගම පළාත් රෙජිස්ටාර් කාර්යාලය කොහොඹ ගස් හන්දිය යන ප්‍රදේශ හා ස්ථාන ආශ්‍රිත ජල ළිං නාවික හමුදාව මඟින් පිරිසිදු කරීමද, අද දිනයේදී සිදුකෙරිණි.
නාවික හමුදාව මඟින් අද දිනයේ මහනුවර හන්තාන සහ හාතලේ මාර්ග වෙත ඇදවැටුණු පස් කඳු ඉවත් කිරීම, තෙල්දෙණිය දුන්හින්න, පන්විල, ගම්පොල සහ ගෙලිඔය ප්‍රදේශයට පානීය ජලය ලබාදීම, වත්තේගම ප්‍රදේශයේ විදුලි රැහැන් පිළිසකර කිරීම සඳහා විදුලිබල මණ්ඩලය වෙත සහය වීම, මාදම්පේ නෙලුම්පොකුන ජල පවිත්‍රාගාරයේ ජල නල එලීම සඳහා ජල සම්පාදන මණ්ඩලය වෙත සහය වීම, පේරාදෙණිය දුම්රිය පාලම සකස් කිරීම සඳහා සහ පුත්තලම ප්‍රදේශයේ දුම්රිය මාර්ග පිළිසකර කිරීම, මුලතිව් නයාරු කලපුව ඔස්සේ ජනතාව හා යතුරු පැදි ප්‍රවාහනය සඳහා නාවික හමුදා යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සැලසීම, ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වියලි ආහාර බෙදීම සහ පාර්සල් සකස් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය වෙත සහ තලාතුඔය හා කොත්මලේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වෙත සහය වීමද, නාවික හමුදා කණ්ඩායම් මඟින් අද දිනයේදී සිදුකෙරිණි.
තවද, මහියංගනය ජල පවිත්‍රාගාරයේ දිය යට නඩත්තු කටයුතු නාවික හමුදා කිමිදුම් සහයෙන් අද දිනයේ (2025 දෙසැම්බර් 06) අවසන් කිරීමෙන්, ප්‍රදේශයේ පවුල් 11000ක පමණ පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබී ඇත.






















































