ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 261 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 432ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 261 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හැත්තෑ හය දෙනෙකු (376) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් හය දෙනෙකු (56) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය තිස් දෙදෙනෙකු (432) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 දෙසැම්බර් මස 06 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් සාගර උදයංග ගේ ආරාධනයෙන්, ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් නිශාන්ත රණවීර මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

අභියෝගාත්මක වෘත්තියක් සොයන දැයේ ජවසම්පන්න දූ පුතුනට, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බැඳී, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාව අවස්ථාව උදා කර දී ඇත. එහි උපරිම පල නෙලාගත් දූ පුතුන් 432 දෙදෙනෙකු, 261 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනය වෙත අනුයුක්ත විය.

මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 261 වැනි බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එම්එච්ඒඑච්එම්එච් ආරච්චි විසින්ද, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එම්ඒඊආර් කොටගම විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි වයිඑම්යූජීඅයිජේ බංඩාර විසින් ද, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ටීඑස් නිමලරත්න විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ආර් එම්සීඑස්බී රත්නතිලක විසින් සහ දක්‍ෂතම ඉලක්කකාරියට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ආර්එම්ඒවීසී රත්නායක විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 261 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘සමුදුර’ අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් නිශාන්ත රණවීර, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සේවය වෘතියක් වශයෙන් තෝරාගැනීම තුලින්, විසිර යන ආධුනික නාවිකයන් සැබෑ පෞර්ශත්වයකින් හෙබි එඩිතර ශ්‍රී ලාංකීය පුතුන් සහ දියණියන් බව සනාථ කර ඇති බවත්, සෑම පුද්ගලයෙකුටම සිදුකල නොහැකි විශේෂිත සහ ගෞරවාන්විත සේවයක් සඳහා අවශ්‍ය ඉහල දරාගැනීමේ හැකියාව, මනා ශික්ෂනය හා ඕනෑම අභියෝගයක් භාර ගත හැකි පුද්ගලයෙකු බවට පරිවර්තනය වීමේ පළමු පියවර විසිර යන ආධුනික නාවිකයන් පසුකර ඇති බවත් පවසන ලදී. විසිරි යන ආධුනික නාවිකයන් හට ඉදිරියේදී වැඩිදුර පුහුණු අවස්ථා හිමිවන බව පැවසූ රියර් අද්මිරාල් නිශාන්ත රණවීර, අවධාරණය කෙරිණි.

කාලානූරූපිව වෙනස් වු වෘත්තීමය නාවික හමුදාවක සුවිශේෂී කාර්යභාරයක් මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කිරීම සඳහා විසිර යන ආධුනික නාවිකයන් වෙත ඉදිරියට රාජකාරීන් හා වගකීම් පැවරෙනු ඇති බවත්, කාර්යශූර්ය විනයගරුක නාවිකයෙකු ලෙස මවුබිමට විශිෂ්ඨ සේවයක් ලබා දීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් පවසන ලදී.

තම ආදරණීය දූ පුතුන් නාවික හමුදාවට බැඳීමට ගත් තිරණයට එකඟ වෙමින්, ඔවුන් ඒ සඳහා දිරි ගන්වමින් නාවික හමුදාවට දායාද කළා වූ විසිර යන ආධුනික නාවිකයන්ගේ ආදරණීය දෙමාපියන් වෙතත්, ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා දායකවූ ශික්ෂා ආයතනයේ පුහුණු කාර්යය මණ්ඩලය වෙතත්, සිය ප්‍රණාමය පුද කිරීම, එහිදී රියර් අද්මිරාල් නිශාන්ත රණවීර විසින් සිදුකෙරිණි.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා, අධ්‍යක්‍ෂ නාවික පුහුණු කොමදෝරු මංජුල හේව බැට්ටගේ, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල කොමදෝරු මනෝජ් ලීලාරත්න ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධජ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ පුහුණු විධායක ඇතුළු උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින්, ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.