ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් සහ අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සෙත් පතා ආගමික වැඩසටහනක් වැලිසර නාවික සංකීර්ණයේදී

2025 දෙසැම්බර් මස 09 වැනි දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සහ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙත සෙත් ප්‍රාර්ථනා කරමින්, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී, අනූෂා බානගොඩ මැතිණියගේ සහභාගීත්වයෙන්, 2025 දෙසැම්බර් මස 06 සහ 07 දින වැලිසර නාවික සංකීර්ණයේදී පැවැත්විණි.

නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි. ඒ අනුව, මීරිගම මිනිඔලුව විද්‍යාවංශ මහාපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක හිමිපාණන් සහ රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභික, වැලිසර මූලගන්ධකුටි පිරිවෙන් මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති, ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත කෙරවලපිටියේ සුමේද මාහිමිපාණන් ගේ අනුසාශනා පරිදි, නාවික හමුදාධිපති ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සහ දානමය පුණ්‍යකර්මය පැවැත්වීම, නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සහ සංවිධායක දායකත්වයෙන් සිදු කෙරිණි.

මෙම බෞද්ධාගමික වැඩසටහන ආරම්භ කරමින් 2025 දෙසැම්බර් මස 06 වැනි දින සන්ධ්‍යාවේ වැලිසර නාවික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකර පහන් දල්වා රට වෙනුවෙන් දිවිපිදු වීරෝධාර නාවික හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීම සිදු කෙරිණි. අනතුරුව, මහබාගේ මූලඝන්ධකුටි විහාරස්ථානයේ සිට වැලිසර නාවික සංකීර්ණය වෙත වැඩම කරවූ සධාතුක කරඬුව හා පිරුවානා පොත් වහන්සේ, පිරිත් මණ්ඩපයෙහි තැම්පත් කිරීමෙන් අනතුරුව, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව ආරම්භ කෙරිණි.

2025 දෙසැම්බර් 07 දින දහවල් මහබාගේ මූලගන්ධකුටි විහාරස්ථානයේ සිට වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය 75 නමක් වෙනුවෙන් වැලිසර නාවික සංකීර්ණයේදී දහවල් දානය සහ පිරිකර පූජාකිරීමේ පුණ්‍යකර්මය, බෞද්ධාගමික වත් පිළිවෙත් අනුකූලව බැති සිතින් සිදු කෙරුණු අතර, එහිදී වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ රණක්ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා රණවිරුවන්ටත් දැනට සේවයේ නියුතු නාවික හමුදා සියළුම සාමාජිකයින් ‍වෙතත් සෙත් ප්‍රාර්ථනා කෙරණි. එමෙන්ම, විශේෂයෙන් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙත සෙත් ප්‍රාර්ථනා කිරීමත්, එහිදී ගරුතර මහා සංඝරත්නය විසින් සිදු කෙරිණි.

තවද, මෙම බෞද්ධාගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල්, රුවන් කළුබෝවිල, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් ජානක මාරඹේ, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානය, බටහිර නාවික විධානය සහ වැලිසර නාවික සංකීර්ණයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.