මානුෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදා නෞකා 04 ක් දිවයිනට පැමිණෙයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවේ, INS GHARIAL යුද නෞකාව සහ ගොඩ බෑමේ නෞකා තුනක් (03), 2025 දෙසැම්බර් මස 07 සහ 08 දින දිවයිනට පැමිණි අතර, ශ්‍රිලංකා නාවික හමුදාව විසින් එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සහ කොළඹ වරායේදී සිදු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ L-51, L -54 සහ L -57 ගොඩ බෑමේ නෞකා මඟින් රැගෙන ආ මානුෂීය ආධාර භාරදීමේ අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු Santosh Jha මහතා, වෙළඳ අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ ඇතුළු රජයේ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ ගොඩබෑමේ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එමෙන්ම, INS GHARIAL යුද නෞකාව මඟින් රැගෙන ආ මානුෂීය ආධාර භාරදීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා සහ INS GHARIAL යුද නෞකාවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් Gaurav Tewari ඇතුළු පිරිසක් සහභාගිවී වුහ.









































