75 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් ශ්‍රී දළඳා මාලිගාවේ ආගමික වතාවත් සිදුකෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2025 දෙසැම්බර් මස 08 දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද දින (2025 දෙසැම්බර් 09) සිදුකෙරිණි.

ඒ අනුව, එම ආගමික වැඩසටහන් මාලාව යටතේ, නාවික හමුදාධිපති නියෝජනය කරමින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව පිරිනැමීම 2025 දෙසැම්බර් මස 08 වැනි දින සන්ධ්‍යාවේ බෞද්ධාගමික වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදුකෙරිණි. දළඳා මැදුරේ ගරුතර මහා සංඝරත්නය විසිපස් (25) නමක් විෂයෙහි දානය පිරිනැමිමේ පුණ්‍යකර්මය අද (2025 දෙසැම්බර් 09) උදෑසන බැති සිතින් සිදුකෙරිණි.

එහිදී, ගරුතර මහා සංඝරත්නය විසින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා විරුවන් අනුස්මරණය කරමින් සහ සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, රණවිරු පවුල්වල සාමාජිකයන් වෙත මෙන්ම, දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාව වෙත සෙත් පතා, 75 වැනි සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.