ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සිට නිල වශයෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි, අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ තුන්වැනි කොටසෙහි (Block No 3) සිට නිල වශයෙන් ආරම්භ කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙන්, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නා‍ගොඩ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගූ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, ශ්‍රී ලංකා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා හිටපු නාවික හමුදාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් යුතුව අද (2025 දෙසැම්බර් 09) අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ, නාවික හමුදා මූලස්ථානයෙහි ඉතාමත් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර පිරිනැමීමෙන් අනතුරුව, එතුමන් නාවික හමුදා මූලස්ථාන පලකය නිරාවරණය කෙරිණි. නාවික හමුදා මූලස්ථානය අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සිට රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින්, පූජ්‍ය හා පූජක ප්‍රසාදීන් වහන්සේ විසින් බෞද්ධ, ක්‍රිස්තියානි, හිංදු සහ ඉස්ලාම් සර්ව ආගමික වතාවත් සිදුකර නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සහ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනය කෙරිණි.

නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් මුල්දින කවරයක් නිකුත් කිරීම නාවික හමුදා මූලස්ථානයේ ශ්‍රවනාගාරයේදි සිදුකෙරුණු අතර, එහිදි පලමු මුල්දින කවරය නාවික හමුදාධිපති විසින් ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පිරිනැමීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාවට වසර 75 ක් සපිරීම නිමිත්තෙන්, 2025 දෙසැම්බර් 09 දින වන විට සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් වෙත 75 වැනි සංවත්සර පදක්කම පිරිනැමීමද අද දින (2025 දෙසැම්බර් 09) ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. එහිදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික හා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී ඒඑච්ඩී වීරතුංග සහ කාන්තා පාලක ප්‍රධාන සුළු නිලධාරී එච්ඒඑන් මංගලිකා වෙත 75 වැනි සංවත්සර පදක්කම සංකේතාත්මකව පිරිනැමීම, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකෙරිණි.

එහිදි, උත්සව සභාව අමතමින් අදහස් දැක්වු නාවික හමුදාධිපති, නාවික හමුදා මූලස්ථානය, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ස්ථාපනය කිරීම සඳහා දායකවු හිටපු නාවික හමුදාධිපතිවරුන් ඇතුළු සියළුම නිලධාරීන්, නාවිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත ප්‍රණාමය පල කරන බවත්, නාවික හමුදා මූලස්ථානය ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ස්ථානගත වීම මඟින්, ජාතික ආරක්‍ෂාව සඳහා වූ ඒකාබද්ධ ප්‍රවේශය පෙන්නුම් කරනු ලබනවා පමණක් නොව, වඩාත් ඒකාබද්ධ හා ඵලදායී ආරක්‍ෂක ආයතනයක් බවට ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය පත් කිරීමට ද සමත්වනු ඇති බවත්, පවසන ලදි.

එහිදී අදහස් දැක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදා මූලස්ථානය අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය තුල රාජකාරි ආරම්භ කිරීමත් සමඟ, ආරක්‍ෂක මූලස්ථානය ක්‍රමානුකූලව නවීන, ඒකාබද්ධ ජාතික ආරක්ෂක මධ්‍යස්ථානයක් බවට පරිණාමය වී ඇති බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, මෙම ක්‍රමික වර්ධනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආරක්ෂක ආයතන ජාතික අරමුණු වෙනුවෙන් එකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියා කිරීමේ ආරම්භක පියවර සනිටුහන් කරනු ලබන බවත්, සම්පත් ප්‍රශස්ත මට්ටමෙන් යෙදවීම, අන්තර් සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ පරිපාලන හා මෙහෙයුම් කාර්යයන් විධිමත් කිරීමට එමඟින් හැකියාව ලැබෙන බවත්, පවසන ලදි. එමඟින් ආරක්ෂක මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු වනවා පමණක් නොව, පරිපාලන කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා ද විශාල පහසුවක් ගෙන දෙනු ඇති බවත්, පැවසු එතුමන්, නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සර දිනයේදී නාවික හමුදා මූලස්ථානය, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සිට රාජකාරී ආරම්භ කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාවේ 75 වසරක කැපවීම සහ නාවික හමුදාව පැමිණි දීර්ඝ ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවත්, පවසන ලදි. ‍එමෙන්ම, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිදුකල මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ දායකත්වය අගයන බවත්, කලාඔය ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදා ගැනීම ඇතුළු මුදාගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වය, ආපදා සහන වෙනුවෙන් වූ ඒකාබද්ධ යාන්ත්‍රනය සඳහා විශාල ශක්තියක් ගෙනදුන් බවත්, පවසන ලදි. විශේෂයෙන් ජාතික ආපදා තත්වය හමුවේ මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් අතරතුර අතරුදහන් වූ සහ ජීවිත පරිත්‍යාග කළ නාවික හමුදා පුද්ගලයන් වෙත දේශයේ ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටින බවත්, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එහිදි වැඩිදුරටත් පවසන ලදි.

අද දින අභිමානවත් 75 වැනි සංවත්සරය සමරණ ශ්‍රී ලංකා නාවික හමුදාව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. දෙවන ලෝක සංග්‍රාමයක පෙර නිමිති ලොව පුරා පහලවීමත් සමඟ, දිවයිනේ වරාය ආරක්ෂාව සහ කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සඳහා දේශීය නාවික බලයක කාලීන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥාපනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස ප්‍රථම වරට මෙරට නාවික හමුදාවක් ස්ථාපනය විය. දෙවන ලෝක සංග්‍රාමය නිමාවත් සමඟ, නාවික උපසේවයක් බවට පරිවර්තනය වන රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතුව සිටි නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විතව, 1950 අංක 34 දරන නාවික හමුදා පනත මඟින්, 1950 වර්ෂයේ දෙසැම්බර් මස 09 දින, ‘රාජකීය ලංකා නාවික හමුදාව’ ස්ථාපිත කිරීමත් සමඟ, මෙරට ස්ථිර නාවික හමුදාවක සාඩම්බර ආරම්භය සනිටුහන් විය. එතැන් සිට ක්‍රමිකව වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමඟ, 'ශ්‍රී ලංකා නාවික හමුදාව' බවට පරිවර්තනය විය. 80 දශකයේ මුල් භාගයේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් ශඛ්‍යතාවයෙන්, තාක්‍ෂණයෙන් සහ පිරිස් බලයෙන් වර්ධනය වෙමින්, එතෙක් පැවති චාරිත්‍රානුකූල භූමිකාවේ සිට සංග්‍රාමික භූමිකාව දක්වා පරිවර්තනය විය.

වර්තමානයේ නාවික උපාය මාර්ගික සැළැස්ම 2030ට අනුව, දේශිය ජලතීරයෙන් ඔබ්බට, ඉන්දියානු සාගර කලාපය ඔස්සේ ජාත්‍යන්තර මුහුද දක්වා මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය ශඛ්‍යතාවයෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් ක්‍රමිකව වර්ධනය වන නාවික හමුදාව, සම්පත් හා පිරිස් බලය උපරිම ශක්ති ප්‍රමාණයෙන් යොදවමින් දේශයේ ජාතික සමුද්‍රීය ආරක්ෂක අභිලාශය සාක්‍ෂාත් කරගැනීම උදෙසා කැපවී සිටියි.

එමෙන්ම, ජාතික කර්තව්‍ය වෙත දායක වෙමින් "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීම ආයතන හා එක්ව, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව තීව්‍ර කර ඇති අතර, ජාතික ආරක්‍ෂාවට සමඟාමීව "ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන යටතේ සමුද්‍රීය පරිසරයේ තිරසාරත්වය රැකදීම වෙනුවෙන්ද, පරිසර හිතකාමී ව්‍යාපෘති ක්‍රියාවට නංවනු ලබයි. එමෙන්ම, දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීමට කැපවන නාවික හමුදාව, මෙරට සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම, ස්වභාවික ආපදා හමුවේ පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම, සාගර කලාපයේ ආරක්‍ෂාව සඳහා බලපානු ලබන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා, කලාපීය හා ගෝලීය සමුද්‍රීය පාර්ශ්වයන් සමඟ සහයෝගී ප්‍රවේශයකින් කටයුතු කරමින්, දේශීය ජල තීරයේ සිට ජාත්‍යන්තර සාගරය දක්වා, සාගරයේ නීතිමය භාවිතය ප්‍රචලිත කිරීම සඳහා දායක වේ.

තවද, මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ අනභිබවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෞරවයෙන් අනුස්මරණය කරන අතර, සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කරමින් ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යයභාරයන් ඉදිරියටත් ඉටුකරනු ලබන නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මඟ පෙන්වීමෙන්, නාවික හමුදාවට අනන්‍ය හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ භූමිකාවන් ඉතා කාර්යක්‍ෂමව ඉටුකරමින්, දේශයේ සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ස්ථාවර සාගර කලාපයක් පෝෂණය සඳහා අඛණ්ඩව කැපවී සිටියි.