ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ මධ්‍ය නිලධාරීන් 61 ක් සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 08 ක් අධිකාරියට පත් කිරීම හා විසිර යාම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 40 වැනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් තිස්තුන් දෙනෙකු (33), ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 65 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසිඅට දෙනෙකු (28) සහ 2024 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් අට දෙනෙකු (08) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 13 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ගරු ජනාධිපති තුමා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සරඹ පිටිය අභියසදී පිළිගැනීමෙන් අනතුරුව, ගරු ජනාධිපතිතුමා ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යාම නාවික හමුදාධිපති සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති විසින් සිදුකෙරිණි. එහිදී, ගරු ජනාධිපතිතුමන් වෙත ජනාධිපති උත්තමාචාර පිරිනැමීමෙන් පසුව විසිර යාමේ පෙළපාලිය එතුමා විසින් නාවික හමුදාධිපති සමඟ පරීක්‍ෂාවට ලක් කෙරිණි. අනතුරුව, පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් වෙත සහ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් වෙත සම්මාන පිරිනැමීම සහ විසිර යන නිලධාරීන් වෙත අසිපත් පිරි නැමීම ගරු ජනාධිපතිතුමා විසින් සිදුකෙරිණි.

ඒ අනුව, ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 40 වැනි බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය හා දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ජේඒයුඒ ජයසිංහ විසින් හිමිකරගත් අතර, වෘත්තීය විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී කේපීකේබී කීර්තිසිංහ විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඩබ්ඩබ්එම්ආර්එච්ඩබ්ඩී අළුවිහාරේ විසින් එහිදී ගරු ජනාධිපති තුමා වෙතින් හිමිකර ගන්නා ලදි.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව සම්පූර්ණ කළ 65 වැනි බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත මධ්‍ය නිලධාරි යුආර්එන් ධර්මරත්න විසින්ද, වෘත්තීය විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය, වෘත්තීය විෂයන්ගේ වැඩිම වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය සහ නාවික විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය, මධ්‍ය නිලධාරී එච්එම්එන්එම් කුමාරතිස්ස විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි ඩබ්බීකේඑල්ආර් ගුණවර්ධන විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරි වීපී කළුගමගේ විසින් හිමි කර ගැනීමට සමත් විය. එමෙන්ම, 2024 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන්ගේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය, උප ලුතිනන් පීඒජීකේඑස් බණ්ඩාර විසින් එහිදී ගරු ජනාධිපති තුමා වෙතින් හිමිකර ගන්නා ලදි.

එහිදී, විසිර යාමේ උත්සව අවස්ථාව ඇමතූ ගරු ජනාධිපතිතුමා, විසිර යන නිලධාරීන් රටේ ඉතාමත් ගෞරවාන්විත විනයක් සහිත නිර්භීත, නාවික හමුදාවට ඇතුල් වීම පිළිබඳව සිය ස්තූතිය ඵලකර, නවක නිලධාරීන් ආරම්භ කරනු ලබන වෘත්තීමය ක්‍ෂේත්‍රයේ ඉතාමත් ජයග්‍රාහී ගමනකට සුභපතන බව පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු ජනාධිපති තුමන්, විසිර යන නිලධාරීන් ගෞරවනීය නිර්භීත හා විනයානුකූල වෘත්තීමය රැකියාවක් තෝරා ගැනීම පිළිබඳව නවක නිලධාරීන්ගේ දෙමාපියන් විශාල ලෙස ආඩම්බර වන බවත්, වෘත්තීය ගෞරවය වටිනාකම ආරක්‍ෂා කර ගනිමින්, දෙමාපියන්‍ට වඩාත් ආඩම්බරවිය හැකි දරුවෙක් ලෙසට මෙම වෘත්තියේ නියැලෙනු ඇතැයි යන විශාල බලාපොරොත්තුවක් නවක නිලධාරීන්ගේ දෙමාපියන්ට සහ රටට ඇති බවත් පවසන ලදි. කිලෝමීටර් 1340ක් පමණ වු දිවයින වටා වෙරළ තීරයේත්, ගොඩබිම මෙන් අටගුණයකට ආසන්න මුහුදු කලාපයේත්, ගොඩබිම මෙන් විසිහත් ගුණයකට ආසන්න විශාලත්වයකින් යුත් සෙවීම් හා මුදා ගැනී‍ම් කලාපයේත් ආරක්‍ෂාව පිළිබඳ වගකීම නාවික හමුදාවට ඇති බවත්, මාතෘභූමිය ආරක්‍ෂාවේදී හා පොදු ජනතාවගේ ආරක්‍ෂාවේදී නවක නිලධාරීන් වෙත විශාල කාර්යය භාරයක් පැවරෙන බවත්, එම කාර්ය භාර්ය නිසිපරිදි ඉටු කිරීම නවක නිලධාරින් වෙතින් මාතෘ භූමිය අපේක්‍ෂා කරන බවත් පවසන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට කීර්තිමත් ඉතිහාසයක් ඇති බව පැවසූ ගරු ජනාධිපති තුමා, මව්බිම හා ජනතාව මුහුනදුන් විවිධ අභියෝගයන්හීදී නාවික හමුදාව ඉතාමත් නිර්භීත ලෙස මාතෘභූමියේ හා පොදු ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශාල කැපකිරීම් කර ඇති බවත්, නවක නිලධාරීන් ප්‍රවිෂ්ඨ වනුයේ එවැණි ගෞරවාන්විත ඉතිහාසයක් හිමි මාතෘභූමියේ ආරක්‍ෂාව පිළිබඳ අනුලංගනීය සේවයක් ඉටුකරන ලද නාවික හමුදාවකට බවත්, නාවික හමුදාවේ ඉතිහාසයේ අනාගත නිර්මාණකරුවන් බවට පත්වීමේ වගකීම නවක නිලධාරීන්ට පැවරෙන බවත්, නවක නිලධාරීන් පිලිබඳ විශාල බලා පොරොත්තුවක් ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරින්ට ඇති බවත්, පවසන ලදි.

රටක් ලෙස ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුන දෙමින්, ආර්ථිකය ඉතාමත් විධිමත්ව ගොඩනගමින් තිබෙන අවස්ථාවක සිදුවූ ස්වභාවික ආපදා තත්වය ආර්ථිකයට විශාල අයහපත් බලපෑමක් වුවත්, එවැනි ඛේදවාචකයක් හමුවේ පලායාම හෝ කනස්සල්ලට පත්වී සිටීම නොව, යලි මාතෘ භූමිය ගොඩනගනවායි යන ස්ථිර අධිටනින් යුතුව කටයුතු කල යුතුව ඇති බව පැවසූ ගරු ජනාධිපති තුමා, එම ස්වභාවික ආපදා තත්වය හමුවේ නාවික හමුදාව සිදුකල කාර්යය භාර්යය ඇගයීමට ලක්කරන ලදි. විශේෂයෙන් කලාඔය ප්‍රදේශයේ ගංවතුරට සිරවු බස් රථයේ ජීවිත අවධානමට පත්ව සිටි පුද්ගලයන් 69 දෙනෙකු පමණ පිරිසක් මුදා ගැනීම සඳහා සිදුකල මෙහෙයුම‍ට සම්බන්ධ නාවික හමුදා පුද්ගලයන්ගේ කාර්යය භාර්යය මෙන්ම, චුන්ඩිකුලම් චලෙයි ප්‍රදේශයේ මෝයක‍ට පුළුල් කිරීමේ මෙහෙයුමේදී රටේ පුරවැසියන්ගේ ජිවිතය වෙනුවෙන් දිවි පිදූ නාවික හමුදා සාමාජිකයන්ගේ කැපවීම විශේෂ ඇගයිමකට ලක් කරන ලදි. ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් අවශ්‍යවන යටිතල පහසුකම් සැලසිම වෙනුවෙන් විශාල මෙහෙයක් නාවික හමුදාව අඛණ්ඩව සිදුකරනු ලබන බවත්, එවන් ගෞරවාන්විත විරෝධාර වෘත්තීමයභාවයයෙන් යුතු හමුදාවකට ප්‍රවිෂ්ඨ වන නවක නිලධාරීන්, එම ගෞරවය වටිනාකම ආරක්‍ෂා කරගනිමින්, මාතෘභූමිය වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් කල යුතු කාර්ය භාර්යය නිසිලෙස ඉටුකරාවි යන විශාල බලාපොරොත්තුව රටට ඇති බවත්, පවසන ලදි.

මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීම සඳහා රජය ක්‍රියාවට නංවා ඇති වැඩ පිළිවෙල සඳහා එකාබද්ධ මෙහෙයුම් සිදුකරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශේෂී දායකත්වයක් දක්වන බවත්, ඒ වෙනුවෙන් නාවික හමුදාවට පැවරී ඇති විශාල කාර්යය භාර්යය වෙනුවෙන් නවක නිලධාරින්ගේ කැපවීම අපේක්‍ෂා කරන බවත්, රටක් ඉදිරියට යා හැකි වන්නේ සියළු දෙනාම තමන් වෙත පැවරී ඇති වගකීම නිසිපරිදි ඉටු කිරීමෙන් පමණක් බවත්, කිසිදු වෘත්තියක් හෝ වගකීමක් දෙවැනිකොට සැලකිය යුතු නොවන බවත් පැවසූ ගරු ජනාධිපති තුමා, තමන්ට පැවරෙන වගකීම නිසි පරිදි ඉටුකරන නවක නිලධාරීන් බවට පත්වීමට නවක නිලධාරීන් වෙත ආරාධනා කරමින්, ජයග්‍රාහී වෘත්තීමය ජීවිතයක් සඳහා නවක නිලධාරීන් වෙත සුභ ප්‍රාර්ථනා කරන ලදි.

එමෙන්ම, ආධුනික නාවිකයන් විසින් ඉදිරිපත් කරල ලද සරඹ සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් සංදර්ශණයකින් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකෙරුණු හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් අධිකාරියට පත් කිරීමේ උත්සවය නිමාවට පත්විය.

මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා ගරුතර මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, නැගෙනහිර පලාත් ගරු ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා, ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු විධාන ආඥාපතිවරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බංඩාර ඇතුළු ධජ නිලධාරීන්, නාවික හමුදා මුලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින් සහ විසිර යන නිලධාරින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගීවී සිටියහ.