ආපදාවට පත් ජනතාව වෙත මානුෂීය ආධාර රැගත් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ICGS SHAURYA නෞකාව දිවයිනට පැමිණෙයි

“දිට්වා” සුළි කුණාටුව ‍හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත මානුෂීය ආධාර තොගයක් රැගත් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ICGS SHAURYA නෞකාව, 2025 දෙසැම්බර් මස 15 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදුකෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, ICGS SHAURYA නෞකාව වෙතින් රැගෙන පැමිණි මානුෂීය ආධාර බාරදීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, වරාය නියෝජ්‍ය අමාත්‍ය ගරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, ICGS SHAURYA නෞකාවේ අණදෙන නිලධාරී Deputy Inspector General Arun Singh සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

තවද, ICGS SHAURYA නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.