නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකල නිවාඩු නිකේතන විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, දියතලාව නාවික නිවාඩු නිකේතන පරිශ්‍රයේ නවීකරණය කර සංවර්ධනය කල කණිෂ්ඨ නිලධාරී නි‍වාඩු නිකේතනය සහ පුහුණුවන නාවිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිවාඩු නිකේතනය විවෘත කිරීම, 2025 දෙසැම්බර් මස 22 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, දියතලාව නාවික නිවාඩු නිකේතන පරිශ්‍රයේ කණිෂ්ඨ නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් පැවති ‘ලිහිණියා’ නිවාඩු නිකේතනය නවීකරණය කිරීමෙන් පසුව සහ ‘හංසයා’ නිවාඩු නිකේතනය ‘හංසයා’ I හා II වශයෙන් නවීකරණය කර සංවර්ධනය කිරීමෙන් පසුව කණිෂ්ඨ නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් වෙන් කිරීම සඳහා මෙලෙස විවෘත කෙරිණි.

එමෙන්ම, නාවික හමුදා පුහුණු ආයතනයන්ට අනුයුක්තව උසස් පුහුණු පාඨමාලා හදාරන නාවිකයන්ගේ අධ්‍යයන චාරිකාවන්හිදී, දියතලාව නාවික නිවාඩු නිකේතන පරිශ්‍රය තුල අත්‍යාවශ්‍යව පැවති නවාතැන් පහසුකම් අවශ්‍යතාවය සපුරාලමින් ඉදිකෙරුණු පුහුණුවන නාවිකයින්ගේ නේවාසික ගොඩනැගිල්ල විවෘත කිරීම මඟින්, එකවර නාවිකයන් හැත්තෑ දෙදෙනෙකු (72) හට පහසුවෙන් නවාතැන් පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.

තවද, නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, දියතලාව නාවික නිවාඩු නිකේතන පරිශ්‍රයේ ඉදිකළ ආපන ශාලාව ද නාවික හමුදාධිපති විසින් විවෘත්ත කෙරුණු අතර, නියමිත ප්‍රමිතියෙන් යුතුව මෙම සුභසාධන පහසුකම් සංවර්ධනය කිරීම හා පුළුල් කිරීම වෙනුවෙන් දායකවූ නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නාවිකයන් ඇගයීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.