නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල අද (2025 දෙසැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරන මණ්ඩලය සහ විධාන ආඥාපතිවරු විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1991 වසරේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ 21 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ආහාර හා නිල ඇඳුම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික විදේශීය මිලදී ගැනීම්, කොමදෝරු සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (නැගෙනහිර), අධ්‍යක්‍ෂ නාවික සැපයුම් හා සේවා, නාවික හමුදාධිපතිගේ ලේකම් හා නාවික ලේකම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී යන ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.


