ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවට සහ දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2025 ‍දෙසැම්බර් මස 27 වැනි දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ප්‍රථමයෙන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව, කැළණිය රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේදී මෙම විශේෂ සෙත්පිරිත් සජ්ඡායනා වැඩසටහන පැවැත්විණි. අනතුරුව, වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික හමුදා රණවිරුවන්හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටත්, දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනා පිංකම සිදුකෙරිණි.

තවද, මෙම විශේෂ ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානයේ ආඥාපති, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.