ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී 2026 නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, උදා වූ 2026 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම, අද දින (2026 ජනවාරි 01) රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව සිදුකෙරුණු අතර, ඊට සමගාමීව නාවික හමුදාවේ සියළුම නාවික විධානයන්ට අයත් නෞකා සහ ආයතන තුල රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇති සුවිශේෂී වගකීම ඉටුකිරීමට සමඟාමීව, , සමාජමය පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි සිදුකෙරෙන ජාතික සංවර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් නාවික හමුදාවේ සම්පත් සහ ශිල්පීය දායකත්වය ලබා දීම වැනි පුළුල් පරාසයක පැතිරුණු රාජකාරීන් සහ රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු උදාවූ 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමෙහිලා නාවික හමුදාව වෙත පැවරෙන්නාවු කාර්යභාරය කාර්යක්‍ෂමව, සඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිම කැපවීමෙන්, අවංකභාවයෙන් සහ මහජනතාවට පක්‍ෂපාතීව, සපුරා ඉටුකරන බවට, සියළුම නාවික හමුදා පුද්ගලයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම අද දින (2026 ජනවාරි 01) සිදු කෙරිණි.

තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ ආරක්‍ෂක ‍මූලස්ථාන සංකීර්ණයේ, නාවික හමුදා මූලස්ථානයේදී පැවති රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලය, ධජ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ ‍නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගීවී සිටියහ.