ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර 13 වැනි වරට පැවැති මාණ්ඩලික සාකච්ඡාවාරය කොළඹදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර දහතුන් වැනි (13) මාණ්ඩලික සාකච්ඡා වාරය (13th Navy to Navy Staff Talks – Indian Navy and Sri Lanka Navy) 2026 ජනවාරි මස 14 දින කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී සාර්ථකව පැවැත්වුණු අතර, ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී, රියර් අද්මිරාල් Srinivas Maddula (Assistant Chief of Naval Staff – Foreign Cooperation) විසින් ජනවාරි 13 දින නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

ඒ අනුව මෙම‍ නිල හමුවේදී, දෙරටේ නාවික හමුදා අතර ද්විපාර්ශවික සබඳතා හා සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වැඩි දියුණු කිරීම සඳහා වූ සාමූහික කැපවීම අවධාරනය කරමින් පැවැත්වෙන ඉන්දීය හා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡාවන්ගේ වැදගත්කම ඇතුළු ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව, නාවික හමුදාධිපති සහ රියර් අද්මිරාල් Srinivas Maddula අතර සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ලබාදීම සඳහා විෂය ක්‍ෂේත්‍ර ගණනාවක් හා සබැඳි පොත් හා ප්‍රකාශන සංඛේතාත්මකව පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.

13 වන මාණ්ඩලික සාකච්ඡා වාරය සඳහා ශ්‍රි ලංකා නාවික හමුදා පාර්ශ්වය නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රුවන් රූපසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පාර්ශවය සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදාවේ රියර් අද්මිරාල් Srinivas Maddula ගේ ප්‍රධානත්වයෙන් ඉන්දීය නාවික හමුදා පාර්ශවය සහභාගී විය.

මෙවර දහතුන් වැනි (13) මාණ්ඩලික සාකච්ඡා වාරය ආරම්භ කරමින්, දොළොස් වැනි (12) මාණ්ඩලික සාකච්ඡා වාරයේ ප්‍රගතිය පිළිබඳ දෙපාර්ශවය අතර ප්‍රථමයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි. අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික සබඳතා, සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම, පුහුණු පාඨමාලා හා පුහුණු හුවමාරු වැඩසටහන්, තාක්‍ෂණික දැනුම, සයිබර් ආරක්‍ෂාව හා තොරතුරු හුවමාරුව, ජලමාණක කටයුතු ඒකාබද්ධව සිදුකිරීම, ඒකාබද්ධ අභ්‍යාස සිදුකිරීම ඇතුළු මෙහෙයුම්, පුහුණු සහ තාක්‍ෂණික යන පුළුල් ක්‍ෂේත්‍රයක් ආවරණය කරමින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා සාර්ථකව සිදුකෙරිණි.