නේපාලයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යන සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නේපාලයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ, මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, බ්‍රිගේඩියර් ජෙනරල් Purna Bahadur Khatri ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් 2026 ජනවාරි මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේදී බ්‍රිගේඩියර් ජෙනරල් Purna Bahadur Khatri සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් පැවැත්විණි. එහිදි, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පැවති සුහඳ පිළිසඳරකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් නේපාල ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ නිලධාරීන් දැනුවත් කිරීම, නාවික හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.