අභිමානවත් 78 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නාවික හමුදාව ආචාර වෙඩි මුර 25 ක් පිරිනමයි

‘ගොඩනගමු ශ්‍රී ලංකා’ යන තේමාව පෙරදැරිව පැවති 78 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට, අද (2026 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට සයුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් කොන්රඩ් අන්නතුගොඩ ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

වෙඩිමුරයක් පවත්වා ආචාර පුද කිරීමේදී පිරිනැමෙන උපරිම වෙඩිමුර ප්‍රමාණය වන වෙඩිමුර 25ක් පිරිනැමිම ජාතිය වෙනුවෙන් පිරිනැමෙන අතර, වෙඩිමුර පවත්වා ආචාර පුදකිරීමේ සම්ප්‍රදාය සඳහා 14 වැනි ශතවර්ෂය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩිමුර ආචාර ඉතිහාසය තුල ප්‍රථම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් වෙඩි මුර ආචාරයක් පිරිනැමීම එවකට රාජකීය නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී 1948 වර්ෂයේදී පවත්වා ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවට නිදහස හිමිවූ 1948 වර්ෂයේ පෙබරවාරි මස 04 වැනි දින සිට නාවික හමුදාව විසින් ජාතිය වෙත ගෞරව පුදකිරීම ‍වෙනුවෙන් ආචාර වෙඩි මුර 25ක් පිරිනැමීමේ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබ ඇති අතර, 2021 වර්ෂයේ සිට මෙම ‍ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25ක් පිරිනැමීම නෞකාවක මත සිට සිදුකිරීම ආරම්භ විය.

ඒ අනුව, 78 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමිව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මතදී අද (2026 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව සිදු කෙරිණි.

වෙඩි මුර ආචාරය පැවැත්වෙන අවස්ථාවේ සයුර නෞකාවේ කුඹගස ධජ මඟින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් ‘25 Gun Salutes for the Nation’ යන පණිවුඩය කියවෙන ආකාරයට සාම්ප්‍රදායිකව සැරසීමද නාවික හමුදාව විසින් සිදුකෙරිණි.

තවද, 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව සමඟින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ විජයබාහු නෞකා සාම්ප්‍රදායිකව ධජ මඟින් සරසා ගාළු මුවදොර ඉදිරිපස මුහුදේ නැංගුරම්ලා තැබීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.