ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 363ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 262 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය පහක් (305) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් පනස් අට දෙනෙකු (58) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සීය හැටතුන් දෙනෙකු (363) සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2026 පෙබරවාරි මස 13 වැනි දින ගාල්ල, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් රසික පියසේනගේ ආරාධනයෙන්, මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාර මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
අභියෝගාත්මක වෘත්තියක් සොයන දැයේ ජවසම්පන්න දූ පුතුනට, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බැඳී, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මව්බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාව අවස්ථාව උදා කර දී ඇත. එහි උපරිම පල නෙලාගත් දූ පුතුන් 363 දෙනෙකු, 262 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය වෙත අනුයුක්ත විය.
නිපුණ ආයතනයේදී සිදුකෙරුණු න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම මෙම විසිරයාමේ පෙළපාලියේදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 262 වන බඳවා ගැනීම යටතේ විසිර යන ලද ආධුනික නාවිකයින් තුන්සිය හැටතුන් දෙනෙකු (363) අතරින් විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එච්කේඑච්අයි ජයවර්ධන විසින් හිමිකර ගන්නා ලදි. එමෙන්ම, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි පීජීකේඑස් ගමගේ විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි අයිපීබී ඉලංගම විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එච්ඒටී තත්සරණි විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ආර්එම්පීආර්එම් බංඩාර විසින් සහ දක්‍ෂතම ඉලක්කකාරියට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි පීඑම්සීයු ද සිල්වා විසින් හිමි කර ගන්නා ලද අතර, 262 වන ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘යශෝධරා’ අංශය විසින් හිමි කර ගන්නා ලදී.
මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ රියර් අද්මිරාල් ජගත් කුමාර, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සුවිශේෂි වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරෙන බවත්, තාක්‍ෂණයෙන් පිරිපුන් වෘත්තීමය හමුදාවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල මෙහෙයුම් මඟින් මව් බිම වෙත උදාකර දුන් නිදහස, අනාගත පරපුර වෙත දායාද කරදීමේ වගකීම විසිර යන ආධුනික නාවිකයන් වෙත පැවරෙන බවත් පවසන ලදි.
ලොව දිනෙන් දින සිඝ්‍රයෙන් වර්ධනය වන නව තාක්‍ෂණය සමඟ යාවත්කාලීන වෙමින් ලබාගන්නා වූ නව දැනුම හා කුසලතා නාවික හමුදාවේ උන්නතිය උදෙසා ඵලදායි අයුරින් භාවිතා කිරිමට විසිර යන ආධුනික නාවිකයන් වගබලා ගත යුතු බව අවධාරනය කල ඔහු, නාවික ජිවිතයේ සහ පෞද්ගලික ජිවිතයේ අභියෝග සාර්ථකව කළමණාකරනය කර ගනිමින්, මාතෘභූමියේ ස්වෛරිභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අභිමානයක් ගෙන දෙන අන්දමින් කටයුතු කිරීම, විසිර යන ආධුනික නාවිකයන් වෙතින් නාවික හමුදාව අපේක්‍ෂා කරන බවත් පවසන ලදි.
එමෙන්ම, ජවසම්පන්න විනයගරුක දූ පුතුන් මව්බිම සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට දායාද කල විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමව්පියන් වෙත සහ ඔවුන් පුහුණු කිරීම සඳහා දායක වු පුහුණු උපදේශක කාර්‍යමණ්ඩලය වෙත කෘතඥතාවය ඵලකිරීමද එහිදී රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් සිදුකෙරිණි.
විසිර යන ලද ආධුනික නාවිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු දර්ශනීය සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායම හා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කල විචිත්‍රවත් සංදර්ශනයකින් මෙන්ම, නාවික හමුදා අංගම් හරඹ සංචිතයේ සංදර්ශණයකින්ද වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය සාම්ප්‍රදායික හිරු අස්ථවිය චාරිත්‍රයෙන් අනතුරුව නිමාවට පතවිය.
තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති හා නාවික හමුදා ජල ශාස්ත්‍ර ප්‍රධානී රියර් අදමිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු දකුණු නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විසිර යන ලද ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.




