ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යර්ථීන්ගේ 09 වන වාර්ෂික අධ්‍යන සැසිවාරය සාර්ථකව නිමාවට පත්වේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව 2016 මාර්තු 18 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය විද්‍යාලය (SLCOMM), මෙරට හමුදා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ආරම්භයේ සිටම සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි. හමුදා වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගේ සායනික කුසලතා, වෘත්තීය දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා කැපී පෙනෙන වේදිකාවක් සපයන මෙම විද්‍යාලය, අද වන විට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සහ දන්ත නිලධාරීන් 400කට වැඩි පිරිසකගෙන් සමන්විත වේ. මෙය ජාතික ආරක්‍ෂක සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ආයතනයක් ලෙස ද හඳුනාගත හැකිය.

සිය අභිමානවත් ශාස්ත්‍රීය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින්, යුද හමුදා වෛද්‍ය විද්‍යාලයේ 09 වන වාර්ෂික ශාස්ත්‍රීය සැසිය පසුගිය පෙබරවාරි 13 සිට 15 දක්වා Waters Edge හෝටල් පරිශ්‍රයේ හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර සැසිය " Back to Basics: Reinforcing Foundational Readiness in Military Medicine” යන තේමාව යටතේ සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී වූ අතර, ගෞරවනීය අමුත්තා ලෙස ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති, විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුමින්ද ආරියරත්න මහතා එක් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් සහ යුද හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති, රියර් අද්මිරාල් ජනක මාරඹේ සිය දේශනයේදී අවධාරණය කරනු ලැබුවේ, හමුදා සේවයේ සූදානම තහවුරු කිරීම සඳහා හමුදා වෛද්‍ය විද්‍යාවේ මූලික නිපුණතාවන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි. වෛද්‍ය කොමාණ්ඩර් (දන්ත) අශානි රත්නකීර්ති විසින් ස්තූති කතාව පවත්වන ලද අතර, අනතුරුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති කර්නල් (මහාචාර්ය) අයින්ද්‍රලාල් බාලසූරිය විසින් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය විද්‍යාලයේ මංගල දේශනය (Maiden Oration) පවත්වමින් සැසියට ශාස්ත්‍රීය වටිනාකමක් එක් කළේය.

යුද හමුදාපති, ගුවන් හමුදාපති සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වය, හමුදා සෞඛ්‍ය සේවා සහ වෘත්තීය සංවර්ධනය සඳහා පවතින ඉහළ මට්ටමේ සහයෝගය මැනවින් පෙන්නුම් කළේය. සැසියේ ප්‍රධාන දේශනය පෙබරවාරි 14 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය, කොමදෝරු (දන්ත) ප්‍රියංක පාලිපාන විසින් පවත්වන ලදී.

ඉන්දියාවේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ (All India Institute of Medical Sciences) Jyotsna Punj සහ Ravinder Kumar මෙන්ම, Nalinda Andraweera, Physical Medicine and Rehabilitation at Queen Elizabeth Hospital and Squadron Leader (Specialist Reserve) of the Royal Australian Air Force යන අය ඇතුළු ජාත්‍යන්තර නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැසිය තවදුරටත් පොහොසත් විය. එහිදී හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෝලීය අත්දැකීම් හුවමාරු වූ අතර, සන්නද්ධ හමුදාවන් තුළ පවතින විවිධ වෛද්‍ය විශේෂඥතාවන්ගේ ඒකාබද්ධතාවය ද මෙහිදී මැනවින් ප්‍රදර්ශනය විය.

එමෙන්ම, සම්මන්ත්‍රණයේ දෙවන දිනයේ ශල්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් එන්. ජී. අටලුගම අනුස්මරණ දේශනය ශල්‍ය වෛද්‍ය කපිතාන් කීර්ති රාජපක්‍ෂ විසින් සිදුකෙරිණි.

දින තුනක් පුරා පැවැති මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ වෛද්‍ය වෘත්තිකයන් 200කට අධික පිරිසක් සහභාගී වූහ. එහිදී ඉදිරිපත් කිරීම්, වෘත්තීය සාකච්ඡා සහ දැනුම හුවමාරු කර ගැනීමේ සැසි හරහා හමුදා වෛද්‍ය විද්‍යාවේ පදනම් සූදානම සහ මෙහෙයුම් හැකියාව ශක්තිමත් කිරීමට පියවර ගැනුණි. ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය විද්‍යාලය මෙවැනි මුලපිරීම් හරහා මෙරට හමුදා සෞඛ්‍ය ප්‍රමිතීන් නංවාලීමටත්, සාමාජිකයන් අතර සහයෝගීතාවය සහ වෘත්තීය විශිෂ්ටත්වය වර්ධනය කිරීමටත් අඛණ්ඩව කැපවී සිටියි.