එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 19 වැනි දින දිවයිනට පැමිණි, එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී, අද්මිරාල් Stephen T. Koehler අද දින (2026 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

ඒ අනුව, අද්මිරාල් Stephen T. Koehler වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ අද්මිරාල් Stephen T. Koehler අතර; සමුද්‍රීය ආරක්‍ෂාව, කලාපීය ස්ථාවරත්වය හා සහයෝගීතාවය සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ උපායමාර්ගික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්විණි.

එමෙන්ම, සමුද්‍රීය ආරක්‍ෂාව හා ස්ථාවර සාගර කලාපයක් තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යය භාරය සහ සූදානම පිළිබඳව මෙන්ම, සාගරයේ නීතිමය භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම පිළිබඳව එහිදී, එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී දැනුවත් කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.