නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බයව ග්‍රාමයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනුමැරුවැව ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම 2026 පෙබරවාරි මස 24 සහ 25 යන දෙදින තුල සිදුකෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ Lion Nation Foundation (Guarantee) Limited ආයතනයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකත් (02) සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1151ක් ජනතා අයිතියට පත්කර ඇත.

ඒ අනුව, මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින්, වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බයව සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනුමැරුවැව යන ප්‍රදේශ ආශ්‍රිත විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, රජය මගින් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.