ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය සහ MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව 'සාගර' සහ 'නන්දිමිත්‍ර' දිවයිනට පැමිණෙයි
ඉන්දියාවේ විසාකාපට්නම් වරාය ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින්, 2026 පෙබරවාරි මස 18 සිට 26 වැනි දින දක්වා පැවැති MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සහ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකා, අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වීමෙන් අනතුරුව, 2026 පෙබරවාරි මස 27 දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකා ද්විත්වය පිළිගැනීම, කොළඹ වරායේ දී සිදුකෙරිණි.
කලාපීය සහ ගෝලීය පාර්ශ්වයන් රැසක් එක්වූ ‘සමුද්‍රීය ඒකාබද්ධතාවය’ (United Through Oceans) යන තේමාව යටතේ පැවති ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය සහ "සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාවය” (Camaraderie Cohesion Collaboration) යන තේමාව යටතේ පැවැති MILAN - 26 බහුපාර්ශික නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහභාගිවීම මඟින්, සමුද්‍රීය පාර්ශ්වයන් සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව සහයෝගීතාවය වර්ධනය කර ගැනීමටත්, සමුද්‍රීය අභිලාශයන් සහ අභියෝග සාමූහික ප්‍රවේශයකින් ජයගැනීම හා ප්‍රතිචාර දැක්වීම සඳහාත්, ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කෙරිණි.
ඒ අනුව, සමුද්‍රීය ආරක්ෂාව හා සබැඳි පුළුල් විෂය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැණුම හුවමාරු කරගැනීම සඳහා සහ ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයක් සඳහා සහභාගී වීමට වරාය අදියරෙහිදී පාර්ශ්වයන් වෙත අවස්ථාව උදා විය. වෘත්තීය අන්තර්ක්‍රියා සමඟ සංස්කෘතික ක්‍රියාකාරකම්, යුද නෞකාවන්ගේ මෙහෙයුම් සූදානම නිරීක්ෂණ සංචාර මෙන්ම, පාර්ශ්වකරුවන් අතර සහයෝගීත්වය හා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා සංවිධානය කර තිබූ අභ්‍යාසය සඳහා සහභාගී වූ පාර්ශ්වයන්ගේ සංස්කෘතීන් විදහා දක්වමින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර නගර පෙළපාළිය සහ ආහාර ප්‍රදර්ශණය ඇතුළු විවිධ වැඩසටහන් සඳහා සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන්ගේ නැව් මුළු සහභාගී විය. එමෙන්ම, එම අවස්ථා වර්ණවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ නර්ථන කණ්ඩායම දායකත්වය දැක්වීම ද සිදු කෙරිණි.
MILAN – 2026 බහුපාර්ශික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර, නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සමුද්‍රීය සහයෝගිතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින්, සංකිර්ණ නාවික අභ්‍යාසයන්ගෙන් සමන්විත විය. මිත්‍රශීලී විදේශ රාජ්‍යන් වෙතින් පැමිණි යුද නෞකා 18 ක් ඇතුළු යුද නෞකා සහ සබ්මැරීන 42 ක් මෙන්ම ගුවන් යානා 29 ක් ඇතුළත් වූ අභ්‍යාසයේ මුහුදු අධියරෙහි දී, නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේ අභ්‍යාස, දියයට සංග්‍රාමික අභ්‍යාස, හෙලිකොප්ටර් යානා නෞකා මතට ගොඩබැස්සවීම ඇතුළු අභ්‍යාස රැසක් සිදුකෙරිණි.
තවද, කලාපීය හා ගෝලීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා රැසක් සහභාගී වන මෙවැනි නාවික අභ්‍යාස සඳහා එක්වීම මඟින්, ස්ථාවර සාගර කලාපයක් පවත්වා ගැනීම සඳහා වූ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධ කළාපීය හා ගෝලීය පාර්ශ්වයන් සමඟ සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරීමේදී අවශ්‍ය අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමටත්, සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, කුසලතා, හොඳම භාවිතයන්, උපාය මාර්ගික ක්‍රමෝපායන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසඳුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වේ.


