ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2026 කොළඹ ගාලු මුවදොරදී සාර්ථකව පවත්වයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (International Military Sports Council) දින සැමරුම් මාර්ග ධාවනය - 2026, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ ප්‍රධානත්වයෙන් අද (2026 මාර්තු 07) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත මාර්ගයේදි සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

රාජ්‍යයන් අතර ගැටුම් නිරාකරණය කර, ක්‍රීඩාව තුලින් සාමය ගොඩනැගීම සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, “ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය” (Friendship through Sport) යන ආදර්ශපාඨය පෙරදැරිව 1948 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනි දින ප්‍රංශයේ Nice නගරයේදී ආරම්භ වී ඇති ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ මූලස්ථානය බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇත. බෙල්ජියම, ඩෙන්මාර්කය, ලක්ස්සම්බර්ග් සහ නෙදර්ලන්තයේ පුරෝගාමීත්වයෙන් ආරම්භවී ඇති ලොව විශාලතම බහුවිධ සංවිධානයක් වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය, ලොව පුරා රාජ්‍යයන් 140ක සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන සහ ලොව විශාලතම ක්‍රීඩා ඉසව් සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබන ගෝලීය ක්‍රීඩා සංවිධානයක් වේ. මෙම කවුන්සිලයේ ආරම්භය සැමරීම වෙනුවෙන් සෑම සාමාජික රාජ්‍යයකම පෙබරවාරි මස 18 හෝ ආසන්න දිනකදී ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින සැමරුම් මාර්ග ධාවනය සංවිධානය කරනු ලබයි.

ඒ අනුව, 2026 වර්ෂයේ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය, කොළඹ ප්‍රදීපාගාරය අසලින් ආරම්භ වී ගාලු මුවදොර වටරවුම ඔස්සේ කිලෝමීටර 02 කට අධික දුරක් ආවරණය කරමින් නැවත කොළඹ ප්‍රදීපාගාරය අසලින් නිමාවට පත් විය.

තවද, මෙම සැමරුම් මාර්ග ධාවන අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් මෙන්ම ආබාධිත රණවිරුවන් පිරිසක් සහභාගි වී සිටියහ.