නාවික හමුදාවේ කැපවීම තහවුරු කරමින් යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි
යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2026 මාර්තු මස 04 සිට 07 දක්වා ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන් පැවති ප්‍රධාන දේව මෙහෙයෙන් අනතුරුව, එම දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වූ අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති ගේ උපදෙස් හා මඟපෙන්වීම මත උතුරු නාවික විධානයේ ආඥාපති ගේ අධීක්‍ෂණය යටතේ මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා ප්‍රධාන පූජක ප්‍රසාදීන් හට මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීම, දේව මංගල්‍ය සඳහා සහභාගිවූ බැතිමතුන් 5350කට අධික පිරිසකට අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම්, පානීය ජලය, විදුලි බලය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
එමෙන්ම, දේව මංගල්‍යයට සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් පලෙයිතිව් දුපතේ වෙරල තීරය ආවරණය වන පරිදි යෙදවීමත්, එම කණ්ඩායම් දේව මංගල්‍යය පැවති කාලසීමාව තුල අවධානයෙන් කටයුතු කිරීමත් හේතුවෙන්, දූපත ආශ්‍රිත මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලීමේ අවධානමට පත් කුඩා දරුවෙකු බේරාගැනීමට නාවික හමුදාවට හැකි විය.
තවද, 'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික ව්‍යාපෘතියේ සමාජමය මුලපිරීම් යටතේ, නාවික හමුදාවේ පහසුකම් සහ ප්‍රජාසත්කාරක දායකත්වයෙන්, ආගමික සංහිඳියාව සහ සාමය ප්‍රවර්ධනය වෙනුවෙන් නාවික හමුදාවේ කැපවීම පිළිබිඹු කරමින් පැවති මෙම දේව මංගල්‍යය සඳහා, දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් පූජක ප්‍රසාදීන් වහන්සේ, සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


