නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ උතුරු ධීවර ප්‍රජාව පෙරමුණ ගනී

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව උතුරු පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ හා උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2026 මාර්තු මස 10 වැනි දින උත්තර ආයතනයේදී පැවැත්විණි.

ඒ අනුව, උතුරු මුහුදේ වර්ධනය වෙමින් පවතින නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, සමුද්‍රීය පරිසරය රැකගැනීම, නීත්‍යානුකූල ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම, නීති විරෝධි ධීවර කටයුතු හේතුවෙන් මත්‍ස්‍ය සම්පත විනාශවීම, සංචාරක කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම, මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් සමුද්‍රීය පරිසරය රැකදීම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් අපේක්‍ෂා කෙරිණි.

එමෙන්ම, මෙම නීති විරෝධී ධීවර ගැටළු නිසි ලෙස විසඳා නොගතහොත් අනාගතයේදී ඇතිවිය හැකි අයහපත් ප්‍රතිවිපාක මෙන්ම, පවත්නා නීතිමය රාමුව පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමද එහිදී සිදු කෙරුණු අතර, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතු සිදුකරන්නන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස නාවික හමුදාව සහ අනෙකුත් පාර්ශව වෙතින් ධීවර සංගම් විසින් ඉල්ලීමක්ද මෙම වැඩසටහන තුලදී සිදුකෙරිණි. තවද, නීත්‍යානූකූලව ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවර ප්‍රජාවගේ ඉල්ලීම් සහ ගැටළු කෙරෙහිද එහිදී විශේෂ අවධානය යොමු කෙරෙණි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා උතුරු නාවික විධානයේ නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු පලාත් සහකාර ධීවර අධ්‍යක්‍ෂ හා ධීවර පරීක්‍ෂකවරුන් සහ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.