නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2026 පෙබරවාරි මස 27 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 මාර්තු මස 09 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

‘INS TARANGINI’ පුහුණු නෞකාව නිල සංචාරය සඳහා 2026 පෙබරවාරි මස 27 වැනි දින ත්‍රීකුණාලය වරාය වෙත පැමිණි අතර, නැගෙනහිර නාවික විධානයේදී සිදුකෙරුණු පුහුණු සැසි සහ නිල හමුවීම් වලින් අනතුරුව, 2026 මාර්තු මස 06 දින කොළඹ වරායට ලඟා විය. එහිදී නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් ‘INS TARANGINI’ නෞකාව තුල සිදුකෙරුණු පුහුණු සැසි, නෞකාවේ මෙහෙයුම් හැකියාව නිරීක්‍ෂණය කිරීම සහ නෞකාවේ අණදෙන නිලධාරී විසින් සිදුකල නිල හමුවීම් වලින් අනතුරුව, මෙලෙස 2026 මාර්තු මස 09 වැනි දින දිවයිනෙන් පිටත් විය.

‘INS TARANGINI’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව ත්‍රීතුණාමලය සහ කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහභාගී වූ අතර, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් වූ වැඩසටහන්, වෙරළ පිරිසිදු කිරීමේ වැඩ සටහන් සහ යෝගා වැඩසටහන් සඳහාද දෙරටේ නාවික හමුදා පුද්ගලයින් සහභාගී වූහ.

තවද, මෙවැනි නිල සංචාර මඟින් හුවමාරු කරගනු ලබන නව දැනුම, කුසලතා සහ අත්දැකීම් තුලින් වර්ධනය වන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය, මඟින් ඉන්දීය සාගර කළාපයයේ නව ප්‍රවණතා සහ අභියෝග සඳහා සාමූහික ප්‍රවේශයකින් ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට මහඟු පිටිවහලක් වනු ඇත.