“SHIPWRECKS AROUND SRI LANKA” වෙබ් අඩවිය එලිදැක්වීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් නාවික හමුදාවේ සහයෝගීත්වය සහ පහසුකම් සැලසීම යටතේ “SHIPWRECKS AROUND SRI LANKA” වෙබ් අඩවිය එලිදැක්වීම 2026 මාර්තු මස 12 වැනි දින කොළඹදී සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
ඒ අනුව, මෙම “SHIPWRECKS AROUND SRI LANKA” (ශ්‍රී ලංකාව වටා නෞකා අවශේෂ) වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ දියයට සමුද්‍රීය උරුමය ලේඛනගත කිරීම සහ ලොවට ගෙනහැර දැක්වීම සඳහා ජාතික ඩිජිටල් වේදිකාවක් ලෙස සංවර්ධනය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සියලුම දියයට ගවේෂණ, සමීක්ෂණ, ඡායාරූප සහ වීඩියෝ දර්ශණ ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම සහ කිමිදුම් සහය ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකයේ දායකත්වයෙන් සිදුකෙරිණි.
වර්තමානය වන විට මෙම වෙබ් අඩවිය තුල දිවයින වටා මුහුදු කලාපය තුල ස්ථානගතව ඇති නෞකා අවශේෂ හැත්තෑවක් (70) පිළිබඳ තොරතුරු අඩංගු වේ. දිවයිනට ආසන්න ඓතිහාසික සමුද්‍රීය වෙළඳ නෞකා මාර්ග පිළිබිඹු කරනු ලබන 18 වන සියවසේ මුල් භාගයේ 1702 මෝගල් අධිරාජ්‍යය යුගයේ දී මුහුදුබත් වූ නෞකා මෙන්ම, යටත් විජිත යුගයේ සහ ලෝක යුද සමයේ මුහුදුබත් වූ නෞකාවන් පිළිබඳ තොරතුරු මෙම “SHIPWRECKS AROUND SRI LANKA” වෙබ් අඩවිය තුලින් නිරීක්‍ෂණය කිරීමට හැකියාව ඇත.
මෙරට දිය යට ස්ථාන ගවේෂකයන් හට සහ පර්යේෂකයන් හට අද්විතීය කිමිදුම් අත්දැකීම් ලබා දෙනු ලබන සහ වටිනා ඓතිහාසික අවබෝධයක් ලබා දෙනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින්, මෙරට කිමිදුම් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා, වෘත්තීය දායකත්වය හා හැකියාවන් ලබාදීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම හා මුලපිරීම පිළිබිඹු වේ.
විශේෂයෙන් ගැඹුරු මුහුදේ ස්ථානගතව ඇති නෞකා අවශේෂ සහ ඓතිහාසික වශයෙන් සංවේදී ස්ථාන නිරීක්‍ෂණයේදී අනුමගනය කල යුතු ආරක්ෂක ක්‍රමවේද සහ සීමාවන් පිළිබඳවද මෙම වෙබ් අඩවියෙහි තොරතුරු ඇතුලත් කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පහසුකම් සැලසීම යටතේ සිදුකෙරුණු මෙම මුලපිරීම, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රමුඛ මුහුදු අවශේෂ කිමිදුම් ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහාද මහගු පිටිවහලක් ගෙන දෙනු ඇත.


