යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගට පැය 48ක් දිවීමෙන් ගි‍නස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සුදුසුකම් ලබයි

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගට දිවීමෙන් ගි‍නස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2026 මාර්තු මස 20 වැනි දින ධාවනය ආරම්භ කෙරිණි. අද (2026 මාර්තු 22) උදෑසන වන විට පැය 48ක කාලයක් අඛණ්ඩව ධාවනයේ යෙදීම සාර්ථකව අවසන් කළ ඔහු, නව ගිනස් ලෝක වාර්තා 03ක් පිහිටුවීමට සුදුසුකම් ලැබීය. ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නාවික හමුදාව විසින් අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මීට පෙර යාන්ත්‍රික නොවන ‍ඇවිදීමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල කිලෝ මිටර් 94.30 දුරක් ධාවනයේ යෙදීමෙන් ඔහු විසින්ම තබා තිබූ ගිනස් ලෝක වාර්තාව බිඳ දමමින්, පැය 12 ක කාලයකින් කිලෝ මීටර් 100.36 ක් එක දිගට ධාවනයේ යෙදීමෙන් පළමු (01) ගිනස් ලෝක වාර්තාව තැබීමට සුදුසුකම් ලැබීය.

දෙවන (02) ගිනස් ලෝක වාර්තාව සඳහා සුදුසුකම් සම්පුර්ණ කළ ඔහු, යාන්ත්‍රික නොවන ‍ඇවිදීමේ යන්ත්‍රයක පැය 24ක කාලයක් තුල කිලෝ මිටර් 188.13ක දුරක් දිවීමෙන් මීට පෙර තබා තිබූ ගිනස් ලෝක වාර්තාව බිඳ දමමින්, පැය 24ක කාලයක් තුල කිලෝ මීටර් 190.55 ක් ධාවනයේ යෙදීමට සමත් විය.

මව්බිම වෙත සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම, නාවික හමුදාව සහ මව් බිම වෙත ජාත්‍යන්තරය ඉදිරියේ විශාල අභිමානයක් ගෙනදෙමින්, යාන්ත්‍රික නොවන ‍ඇවිදීමේ යන්ත්‍රයක පැය 48 ක කාලයක් තුල කිලෝ මිටර් 316.7ක දුරක් දිවීමෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික), නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා අද (2026 මාර්තු 22) උදෑසන 1000 පැය වන විට මෙලෙස සුදුසුකම් ලැබීය.

තවද, මෙම ගිනස් ලෝක වාර්තාවන්ට සමඟාමීව, යාන්ත්‍රික නොවන ‍ඇවිදීමේ යන්ත්‍රයක වේගවත්ම කිලෝ මිටර් 100යය පැය 11යි, විනාඩි 57යි, තත්පර 18කින් නිම කිරීම, සැතපුම් 100යය පැය 20යි, විනාඩි 07යි, තත්පර 42කින් නිම කිරීම සහ කිලෝ මීටර් 300ක් වේගවත් ඇවිදීමේ වාර්තාව පැය 44යි, විනාඩි 40යි, තත්පර 24කින් නිම කිරීම වශයෙන් වාර්තා 03ක් තබා ඇති අතර, එම වාර්තාද ඉදිරියේදී ගිනස් ලෝක වාර්තා ලෙස සලකා බැලීමට යෝජිතය.

නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් හා අභිමානයක් ගෙනදෙමින් ගිනස් ලෝක වාර්තා 03ක් පිහිටුවීමට සුදුසුකම් ලැබීම මඟින්; උත්සාහය, කැපවීම සහ අප්‍රතිහත ධෛර්ය තුලින් ඕනෑම අභියෝගයක් අධිෂ්ඨානසීලීව ජයගත හැකිය යන වටිනා ආදර්ශය ලාංකීය තරුණ ප්‍රජාවට පමණක් නොව මුළු ලොව වෙත ගෙනහැර දැක්වීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) හට අවස්ථාව උදා විය.