‘Blue Whale – 2026’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් සිව්වන (04) වරටත් සංවිධානය කරනු ලැබූ ‘Blue Whale – 2026’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය, 2026 මාර්තු මස 20 වැනි දින ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් රොහාන් දිසානායකගේ ප්‍රධානත්ව‍යෙන් ආරම්භ කෙරිණි. නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වූ මෙම ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය මාර්තු මස 26 දින සාර්ථකව නිමාවට පත් වු අතර, එහි අවසන් අභ්‍යාසය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරියගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර, මැරීන් බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ මාලදිවයින නියෝජනය කරමින් නිරීක්‍ෂකයන් ඇතුළුව නාවික හමුදා සාමාජිකයන් එකොළොස් දෙනෙකු (11) සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා දියත් විධානය, නාවික පාබල අංශය, මැරීන් බලකාය, විශේෂ යාත්‍රා බලඝණය, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සහ නාවික හමුදා කිමිදුම් අංශයද, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නාවික හමුදා පුද්ගලයන් සහභාගී විය. එමෙන්ම, මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව, වෙරළබඩ මුර යාත්‍රා සහ RHIB යාත්‍රා මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද (01) එක්විය.

‘Blue Whale – 2026’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේදී; සතුරු ග්‍රහණයේ ඇති භූමියක් වෙත උපක්‍රමිකව මුහුදෙන් භට පිරිස් සහ යුද සැපයුම් ඇතුළු කිරීමේ භූ ජලතරණ අභ්‍යාස (Amphibious Operations), සතුරු භූමිය පිළිබඳ හා සතුරාගේ හැකියාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ අභ්‍යාස (Reconnaissance), දූපත් සහිත ජලාශ්‍රිත ප්‍රදේශ තුළ සිදු කරන පරීක්‍ෂා කිරීමේ මෙහෙයුම් (Riverine/ Search and Clear Operations), භූ ජලතරණ ප්‍රහාර අභ්‍යාස (Amphibious Assault), මුහුදේ සිට ගොඩබිමෙහි හඳුනාගත් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස (Naval Surface Fire Support - NSFS), ගුවනින් සංග්‍රාම භූමිය වෙත භට පිරිස් ඇතුලු කිරීමේ අභ්‍යාස (Air Infiltration by Rappelling), සංග්‍රාමික අවස්ථාවකදී අමතර භට පිරිස් යෙදවීම සහ ගුවනින් තුවාල කරුවන් ඉවත් කිරීමේ අභ්‍යාස (Reinforcement and CASEVAC) සහ සතුරු ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශ තුළ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා සිදු කරන ආරක්‍ෂක මෙහෙයුම් (Stability Operations) ඇතුළු පුහුණු අභ්‍යාස රැසක් සාර්ථකව සිදු කෙරුණි.

‘Blue Whale – 2026’ අභ්‍යාසය පැවැත්වීම මඟින්; භූ ජලතරණ මෙහෙයුම් පිළිබඳ දැනුම යාවත්කාලීන කිරීම, නාවික හමුදාව, ගුවන් හමුදාව මෙන්ම කලාපීය පාර්ශවකරුවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය, සහයෝගීත්වය හා හවුල්කාරිත්වය වර්ධනය කිරීම, දැනුම හා අත්දැකිම් හුවමාරු කර ගැනීම, පාර්ශවකරුවන්ගේ හැකියාවන් හඳුනාගැනීම තුළින් සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සහ ඒ සඳහා නාවික හමුදාවේ විශේෂ බලකා හා බලඝනයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ මෙහෙයුම් සූදානම වර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරිණි.

තවද, ‘Blue Whale – 2026’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය ඇතුළු නැගෙනහිර නාවික විධානයේ සහ මැරීන් බලකායේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.