විදේශීය නෞකා කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා නාවික හමුදාව විසින් රැගෙන එයි

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, චීන ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක, හදීසි වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේද සහයෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට 2026 මාර්තු මස 27 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සේවීම් හා මුදා ගැනීම් කලාපයට යාබද, මුහුදු සැතපුම් 700ක පමණ දුරින් චීන ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකුහට ඇතිවු රෝගී තත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය බවට එම නෞකාව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදු කෙරුණු දැනුම් දීමකට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගියා වෙත අවශ්‍ය වෛද්‍ය උපදෙස් නෞකාව වෙත සන්නිවේදනය කර, එම නෞකාව වෙතින් රෝගියා රැගෙන වෛද්‍ය ප්‍රථිකාර (Medical Evacuation- MEDEVAC) සඳහා යොමු කිරීමට ගාල්ලට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශය වෙත දකුණු නාවික විධානය වෙතින් යාත්‍රාවක් යොමු කෙරිණි.

ඒ අනුව, 2026 මාර්තු මස 27 වැනි දින නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙන ආ රෝගියා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට නෞකාවේ දේශීය නියෝජිත ආයතනය හා සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදි.

තවද, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ මෙන්ම යාබද සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාප තුල ද ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.