නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රොහාන් දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රොහාන් දිසානායක අද (2026 ජනවාරි 06) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය සහ විධාන ආඥාපතිවරුන් විසින්, අප්‍රේල් මස 06 වන දිනට සිය 55 වැනි උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් රොහාන් දිසානායක වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පිරිනැමීම ‍සිදුකෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ, ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් රොහාන් දිසානායක වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1991 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ 04 වැනි නාවික පාබල බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රොහාන් දිසානායක, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ නාවික හමුදාවේ ගොඩබිම් ආයතනයන්හි රාජකාරී සිදුකර ඇත. ඒ අනුව ඔහු, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා, ගජබා, අග්බෝ, පණ්ඩුකාභය හා වලගම්බා ආයතනයන්හි විධායක නිලධාරී වශයෙන්ද, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා, පැරකුම්බා, විජයබා, මහානාග, කාශ්‍යප, පණ්ඩුකාභය ආයතනවල හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී වශයෙන්ද, විධාන ගොඩබිම් මෙහෙයුම් නිලධාරී දකුණ හා උතුර නාවික විධානයන්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති හා නාවික අණභාර නිලධාරී ත්‍රීකුණාමලය (දකුණ), අධ්‍යක්‍ෂ මැරීන්, අධ්‍යක්‍ෂ නාවික පාබල සහ ආඥාපති නාවික පාබල යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.