විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති 2026 ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද හමුදා විශේෂ බලකා මේහෙයුම් ඒකකය ඇල්ෆා එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ‘Balance Style – 2026’ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) 2026 මාර්තු මස 26 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථකව නිමාවට පත් විය.

එහි සහතිකපත් ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2026 පෙබරවාරි මස 23 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලද අතර, මෙම පාඨමාලාව සඳහා විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසි හතර දෙනෙක් (24), 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික පුද්ගලයින් දොලොසේ දෙනෙක් (12) ඇතුලුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයින් 36 දෙනෙකු සහභාගී විය.

මෙම පාඨමාලාව තුළදී මානව හිමිකම්, උපායික සටන් අනතුරු සත්කාර (Tactical Combat Casualty Care), යුද භූමියේ සමීප සටන් (Close Quarter Battle), සතුරු භූමිය හා සතුරාගේ හැකියාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ අභ්‍යස (Reconnaissance), දූපත් සහිත ජලාශ්‍රිත ප්‍රදේශ තුළ සිදු කරන පරීක්‍ෂා කිරීමේ මෙහෙයුම් (Riverine), ඩ්‍රෝන සහ මිනිසුන් රහිත කුඩා ගුවන් යානා පද්ධතීන් (Small Drones and Small Unman Aircraft System) ඇතුළු නව දැනුම හා වෘත්තීය කුසලතා වර්ධනය මෙන්ම, විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරී, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී, ඇමෙරිකා එක්සත් ජනපද යුධ හමුදා විශේෂ බලකායේ ඇල්ෆා මෙහෙයුම් අනුඛණ්ඩයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.