රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් නාවික හමුදාවේ මුලිකත්වයෙන් ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාසයක්, ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේදී 2026 මාර්තු මස 31 වැනි දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු අභ්‍යාසය සදහා න්‍යායික හා ප්‍රායෝගික සැසි ඇතුළත් වූ අතර, මෙම පුහුණු වැඩසටහන සඳහා ත්‍රීකුණාමලය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ත්‍රීකුණාමලය සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය, යුද්ධ හමුදා 22 වැනි පාබල සේනාංකය සහ චීන වරාය පොලිස් ස්ථානය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගි වුහ.

මෙහි න්‍යායික සහ ප්‍රායෝගික සැසිය තුළදී; රසායනික උපද්‍රව අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර, එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාල ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝග ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරිණි..